තත්පරය දහසෙන් බෙදමින් Lyles රන් දිනයි!

Paris Olympics 2024

1

2024 පැරිස් ඔලිම්පික් 09 වැනි දිනය නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වුනා. 

දිනයේ අවසන් තරග ඉසව්ව වූ පිරිමි මීටර් 100 අවසන් මහා තරගය ඇමරිකාවේ Noah Lyles විසින් ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් රන් පදක්කම් 19ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, සටහනේ දෙවැනි තැන රැඳෙනා චීනය ද රන් පදක්කම් 19ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් රිදී පදක්කම් ප්‍රමාණය මත මේ වන විට ඇමරිකාව සටහනේ පළමු ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. 

නිමා වූ ඊයේ (04) දිනයේ දී පැවැත්වුණු ඉසව් අතරින් වැඩිම අවධානය පිරිමි මීටර් 100 ඉසව්වට යොමු වූ බව නොරහසක්. කෙසේ වෙතත් ඊයේ දිනය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ද කිසි දා අමතක නොවෙනා එකක් බවට පත් කිරීමට අරුණ දර්ශනට හැකියාව ලැබුණා. 

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ 09 වැනි දිනයේ තරග විස්තර පහතින්: 

Novak Djokovic සියල්ල සම්පූර්ණ කර ගනී 

ලොව බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයකු ලෙස සැලකෙන සර්බියාවේ Novak Djokovic විසින් ඊයේ දිනයේ දී පිරිමි කේවල ටෙනිස් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මෙහි දී ඔහු විසින් ස්පාඤ්ඤයේ Carlos Alcarazට එරෙහිව තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, අනුව මෙතෙක් කල් ඔහුගේ ජයග්‍රහණ ලැයිස්තුවේ තිබූ එකම අඩුපාඩුව වූ ඔලිම්පික් රන් පදක්කම තමා සන්තකයට ගැනීමට Djokovicට හැකියාව ලැබුණා. 

මේ අතර ටෙනිස් යුගල කාන්තා ඉසව්වේ රන් පදක්කම ඉතාලිය විසින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මේස පන්දු, බැඩ්මින්ටන් සහ දුනු විදීම 

සුපුරුදු පරිදි ම පිරිමි කේවල මේසපන්දු ඉසව්ව ජයග්‍රහණය කිරීමට චීනය සමත් වූ අතර, දකුණු කොරියාව විසින් පිරිමි කේවල දුනු විදීම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් පිරිමි යුගල බැඩ්මින්ටන් ඉසව්වේ රන් පදක්කම ඉතා තියුණු තරගයකින් අනතුරුව චීන තායිපේ වෙත පිරිනැමීමට චීනයට සිදු වුනා. 

ජිම්නාස්ටික් පදක්කම් බෙදී යයි 

ජිම්නාස්ටික් පිරිමි Rings තරග ඉසව්වේ රන් පදක්කම චීනය හිමි කර ගන්නා අතරේ, කාන්තා Uneven Bars තරග ඉසව්වේ ජයග්‍රහණය ඇල්ජීරියාවට හිමි වුනා. 

මේ අතර පිලිපීනයේ Carlos Edriel Yulo විසින් පිරිමි Vault ඉසව්ව ජයග්‍රහණය කරමින් මෙවර ඔලිම්පික් උළෙලේ තම දෙවැනි රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වුනා. 

පිහිනුම් ඉසව් අවසන් 

මෙවර ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරග ඉසව් සියල්ලම ඊයේ දිනයෙන් නිමාවට පත් වුනා. 

ඒ අනුව මෙහි දී ස්වීඩනයේ Sarah Sjoestroem විසින් කාන්තා මීටර් 50 නිදහස් ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, පිරිමි මීටර් 1500 නිදහස් ආර ඉසව්ව නව ලෝක වාර්තාවක් සමඟින් ම ජයග්‍රහණය කිරීමට ඇමරිකාවේ Bobby Finkeට හැකියාව ලැබුණා. 

මේ අතර පිරිමි මීටර් 100×4 මිශ්‍ර ඉසව්වේ ජය චීනයටත්, කාන්තා මීටර් 100×4 මිශ්‍ර ඉසව්වේ ජය ඇමරිකා එක්සත් ජනපදයටත් හිමි වුනා. 

ඒ අනුව මෙවර ඔලිම්පික් උළෙලේ පිහිනුම් ඉසව්වල සමස්ත ශූරතාව රන් පදක්කම් 09ක් ජයග්‍රහණය කළ ඇමරිකාවට හිමි වුනා. ඔවුන්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන් ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 08කින් සෑහීමකට පත් වීමට සිදු වුනා. 

උස පැනීමේ ජය යුක්‍රේනයට 

කාන්තා උස පැනීම ඉසව්වේ රන් පදක්කම යුක්‍රේනයේ Yaroslava Mahuchikh විසින් දිනා ගැනීමට සමත් වුනා. ඇය විසින් මීට දින කිහිපයකට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව ද වෙනස් කිරීමට සමත් වූ නමුත්, ඊයේ දිනයේ නම් එවන් දස්කමක් වෙත යාමට ඇයට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඇය පහසුවෙන් ම ඉසව්ව ජයග්‍රහණය කළා. ඇයට යම් පමණක හෝ තර්ජනයක් එල්ල කළ ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers විසින් පිට පිටම දෙවැනි වරටත් ඔලිම්පික් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කැනඩාවට මිටිය විසි කිරීමේ රන් පදක්කම 

මෙතෙක් ඉතිහාසයේ මිටිය විසිකිරීමේ ඉසව්වෙන් කැනඩාව ජයග්‍රහණය කළ පළමු රන් පදක්කම දිනා ගැනීමට Ethan Katzebergට ඊයේ හැකියාව ලැබීම විශේෂත්වයක්. 

Noah Lyles තත්පරය දහසෙන් බෙදමින් රන් දිනයි 

ලොව වැඩිම අවධානයක් හිමි වන පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකාවේ Noah Lyles විසින් සමත් වුනා. 

මෙම තරගය මෙතෙක් ඉතිහාසයේ පැවැත්වුණු වේගවත් ම මීටර් 100 තරගයක් ලෙස සඳහන් කළ හැකි අතර, ඉසව්වට සහභාගී වූ ක්‍රීඩකයින් 08 දෙනාම තත්පර 9.91ක් හෝ ඊට අඩු කාලයකින් ඉසව්ව නිමා කිරීමට සමත් වුනා. 

මෙහි දී ජැමෙයිකාවේ Kishane Thompson සහ Noah Lyles දෙදෙනා ම ඉසව්ව තත්පර 9.79කින් නිමා කිරීමට සමත් වූ නමුත්, මෙහි දී Lyles තත්පර 0.005කින් Thompsonට වඩා ඉදිරියෙන් රැඳුණා. Thompsonගේ තරග නිමි කාලය තත්පර 9.789ක් ලෙස සටහන් වූ අතර, Lylesගේ තරග නිමි කාලය තත්පර 9.874ක් ලෙසයි සටහන් වුනේ. 

ඉසව්වේ ලෝකඩ පදක්කම ඇමරිකාවේ ම Fred Kerley විසින් දිනා ගැනීමට සමත් වුනා. ඇමරිකානුවකු විසින් ඔලිම්පික් පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ වසර විස්සකට පසුව වීම විශේෂත්වයක්. 

අරුණ ශ්‍රී ලංකා බලාපොරොත්තු සඵල කරයි 

ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 400 ඉසව්වේ පස් වැනි මූලික වටයේ තරගයට සහභාගී වූ අරුණ දර්ශන තත්පර 44.99ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා. 

මෙය මෙම ඉසව්ව වෙනුවෙන් අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව වන අතර, සුගත් තිලකරත්නගෙන් පසු මෙම ඉසව්ව තත්පර 45කට වඩා අඩු කාලයකින් නිම කිරීමේ ගෞරවය ඊයේ අරුණට හිමි වුනා. 

එමෙන්ම 2008 ඔලිම්පික් උළෙලේ දී සුසන්තිකා ජයසිංහ විසින් කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමෙන් පසුව ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩකයකු විසින් ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වුනා. 

අරුණ සහභාගී වීමට නියමිත මීටර් 400 අවසන් පූර්ව තරග හෙට (06) රාත්‍රි 11.05ට ආරම්භ වීමට නියමිතයි.  

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<