ඔලිම්පික් ඉතිහාසයේ අමුතුම දිනයක් නිමා වෙයි

Paris Olympics 2024

16
Paris Olympics 2024 03rd August Roundup

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ 08 වැනි දිනය අවසන් වන විට රන් පදක්කම් 16ක් සමඟින් තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැක ගැනීමට චීනය සමත් වී සිටියා. 

කෙසේ වෙතත් මේ වන විට චීනයට ප්‍රබල අභියෝගයක් වෙමින් ඉදිරියට පැමිණ ඇති ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 14ක් සමඟින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. 

ඔලිම්පික් උළෙලේ 08 වැනි දිනය තුළ දී පදක්කම් රැසක් බෙදී ගිය අතර, මුළු මහත් ලෝකයේ ම අවධානය දිනා ගත් කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් තරගය ද ක්‍රියාත්මක වුනා. 

එමෙන්ම ඊයේ දිනය තුළ රටවල් කිහිපයක් ම තම පළමු ඔලිම්පික් පදක්කම් වෙත යාමට සමත් වීම විශේෂත්වයක්. එක් දිනක් තුළ එවන් සිදුවීම් කිහිපයක් ම සිදුවීම ද තරමක් පුදුමාකාරයි. 

ඕස්ට්‍රේලියාව සහ චීනය ටෙනිස් රන් පදක්කම් වෙත 

පිරිමි යුගල ටෙනිස් ඉසව්වේ ජයග්‍රහණය ලබාගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණු අතර, කාන්තා කේවල ටෙනිස් ඉසව්වේ රන් පදක්කම චීනයේ Zheng Qinwen විසින් දිනා ගැනීමට සමත් වුනා.

මෙය චීනය විසින් ඔලිම්පික් ටෙනිස් කේවල ඉසව්ව වෙනුවෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වුනා. 

මේසපන්දුව නැවතත් චීනයට යට වෙයි 

චීනය විසින් ඉහළ මට්ටමේ  ආධිපත්‍යයක් පතුරවා තිබෙන මේස පන්දු ඉසව්වේ කාන්තා කේවල ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වයම චීනයට හිමි වුනා. 

එමෙන්ම බැඩ්මින්ටන් කාන්තා යුගල ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වයත් චීනයට ම උරුම වීම විශේෂත්වයක්. 

දුනු විදීම කොරියාවේ ග්‍රහණයට  

චීනය මේස පන්දු ආධිපත්‍යය රැක ගන්නා අතරේ කාන්තා කේවල දුනු විඳීමේ ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ද්විත්වයම දකුණු කොරියාවට හිමි වුනා. 

පිලිපීනයට ඉතිහාසගත ‍රන් පදක්කමක් 

ජිම්නාස්ටික් Floor Exercise පිරිමි ඉසව්වේ ජයග්‍රහණය පිලිපීනයේ Carlos Edriel Yulo හට හිමි වූ අතර, මෙය පිලිපීනය ඔලිම්පික් ඉසව්වක ලබා ගත් පළමු රන් පදක්කම ලෙස ඉතිහාසයට එක් වුනා. 

Simone Biles තෙවැනි රන් පදක්කමත් ජයග්‍රහණය කරයි 

කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ලොව බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස හැඳින්වෙන Simone Biles විසින් ඊයේ දිනයේ දී ජිම්නාස්ටික් Vault ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එය ඇය විසින් මෙවර ඔලිම්පික් උළෙලේ ලද තෙවැනි රන් පදක්කම ලෙසයි වාර්තා අතරට එක් වුනේ. එමෙන්ම ඇය මේ වන විට ඔලිම්පික් රන් පදක්කම් හතක හිමිකාරිනියක් බවට ද පත් වී තිබෙනවා. එම රන් පදක්කම් හත ද සමඟින් ඇය මේ වන විට ඔලිම්පික් පදක්කම් 10කට හිමි කම් කියනවා. එම ඉසව්වෙ රිදී පදක්කම බ්‍රසීලයට හිමි වුනා. 

කාන්තා පාපන්දු අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තීරණය වෙයි 

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා පාපන්දු අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ජර්මනිය සහ බ්‍රසීලය විසින් සමත් වුනා. 

Ledecky පුරාවෘත්තයක් බවට පත් වෙයි 

ඔලිම්පික් කාන්තා පිහිනුම් ඉසව්වේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස හඳුන්වා දිය හැකි ඇමරිකාවේ Katie Ledecky විසින් ඊයේ දිනයේ දී කාන්තා මීටර් 800 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙය ඇය විසින් මෙම ඉසව්වේ නොකඩවා ජයග්‍රහණය කළ සිව් වැනි රන් පදක්කම වන අතර, ඇය විසින් මේ දක්වා ඔලිම්පික් රන් පදක්කම් 9ක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ඇය ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ලාභී කාන්තාව ලෙස යුක්‍රේනයේ Larisa Latynina සමඟින් සම තැන් ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්. මෙම ඉසව්වේ රිදී පදක්කම ඕස්ට්‍රේලියාවේ Ariarne Titmus විසින් ජයග්‍රහණය කළා. 

ඇමරිකාවට පිහිනුම් ලෝක වාර්තාවක් 

මිශ්‍ර 100×4 පිහිනුම් ඉසව්වෙන් ඇමරිකා එක්සත් ජනපදය නව ලෝක වාර්තාවක් සමඟින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. චීනයෙන් ඔවුන්ට ඉතා හොඳ තරගයක් එල්ල වුනත් අවසානයේ රිදී පදක්කමින් සෑහීමට චීනයට සිදු වුනා. 

මේ අතර කාන්තා මීටර් 200 මිශ්‍ර ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට කැනඩාවේ Summer Mcintosh හට හැකි වූ අතර, පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්වේ ජය හංගේරියාවේ Kristof Milak හට හිමි වුනා. 

ලොව වේගවත් ම ක්‍රීඩිකාව St. Lucia දේශයෙන් 

මෙවර ඔලිම්පික් උළෙලේ වැඩිම අවධානයක් හිමි වූ ඉසව්වක් වන කාන්තා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට St. Lucia දේශයේ Julien Alfred හට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් මෙම ඉසව්ව ජයග්‍රහණය කරතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තනා සිටි ඇමරිකාවේ Sha’Carri Richardson හට ඉසව්වේ රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදු වීම විශේෂත්වයක්. එමෙන්ම මෙම ඉසව්වේ රන් පදක්කම් ද්විත්වයකට හිමි කම් කියනා ජැමෙයිකාවේ Shelly-Ann-Fraser-Pryce ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී නොවී ඉවත් වීමට තීරණය කිරීමත් ඉහළ අවධානයක් දිනා ගත්තා. 

Julien Alfred විසින් ජයග්‍රහණය කළ මෙම රන් පදක්කම St. Lucia දේශය මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ ජයග්‍රහණය කළ පළමු සහ එකම පදක්කම ලෙස ද ඉතිහාසගත වීම විශේෂත්වයක්. 

Dominica දේශයත් පළමු ඔලිම්පික් පදක්කම දිනයි 

Julien Alfred St. Lucia වෙනුවෙන් පළමු ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කරනා අතරේ Lhea Lafond විසින් ඩොමිනිකා දේශයට පළමු ඔලිම්පික් පදක්කම දිනා දීමට සමත් වුනා. කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් තම රටේ ජාතික වාර්තාව ද අලුත් කිරීමට සමත් වූ Lafond Julien සේම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂ සිදුවීමක්. 

Ryan Crouser නොකඩවා තෙවැනි රන් පදක්කමත් දිනයි 

පිරිමි යගුලිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ ඇමරිකා එක්සත් ජනපදයේ Ryan Crouser විසින් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එය ඔහු විසින් එම ඉසව්වෙන් නොකඩවා ජයග්‍රහණය කළ තෙවැනි රන් පදක්කම ලෙස වාර්තා අතරට එක් වුනා. යගුලිය විසිකිරීමේ ඉසව්වකින් එවන් දස්කමක් දැක්වූ ලොව එකම ක්‍රීඩකයා බවට ද ඔහු මෙහි දී පත් වුනා. 

නෝර්වේ වෙනුවෙන් අලුත් වීරයෙක්

ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ දී නොර්වේ දේශය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වන Jakob Ingebrigtsen සහ Kirsten Warholm ට අමතරව දැන් පිරිමි දසප්‍රයාම ඉසව්ව නියෝජනය කරමින් තවත් තරුවක් බිහි වී තිබෙනවා. නෝර්වේ ක්‍රීඩක Markus Rooth විසින් අද අලුයම පිරිමි දසප්‍රයාම ඉසව්ව නව ජාතික වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

Bol ඇමරිකානු සිහිනය බොඳ කරයි 

මිශ්‍ර 400×4 ඉසව්වේ රන් පදක්කම නෙදර්ලන්තය විසින් හිමි කර ගැනීමට සමත් වුනා. මෙම ඉසව්වේ මූලික වටයේ දී ඇමරිකානු කණ්ඩායම විසින් නව ලෝක වාර්තාවක් ද බිහි කරමින් අවසන් තරගයට පිවිසුණු අතර, අවසන් තරගයේ ද මුල් ධාවන වට තුන නිමා වන තෙක් ම ඔවුන් පෙරමුණේ රැඳීමට ද සමත් වී සිටියා. කෙසේ වෙතත් මුල් වට තුන නිමා වන විට තරගයේ සිව් වැනි ස්ථානයේ රැඳී සිටි නෙදර්ලන්තය වෙනුවෙන් ධාවනය ආරම්භ කළ Femke Bol තරගයේ තීරණය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඇමරිකාව දෙවැනි තැනට ඇද දැමීමට සමත් වුනා. 

මෙය මෙවර ඔලිම්පික් තරගාවලියේ දැක ගත හැකි වූ විශිෂ්ටතම නැවත පැමිණීමක් ලෙස හඳුන්වාදිය හැකි. 

මේ අයුරින් 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ 08 වැනි දිනය නිමාවට පත් වනවා. 

එමෙන්ම අද (04) දිනයේ ද තවත් තීරණාත්මක තරග ඉසව් රැසක් ඔලිම්පික් තරග බිමේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකා ධාවක අරුණ දර්ශන අද පිරිමි මීටර් 400 මූලික වටයේ තරගයකට සහභාගී වීමට සූදානමින් පසු වනවා. අරුණ එම ඉසව්වේ 05 වැනි මූලික වටයේ තරගයට සහභාගී වීමට නියමිත අතර, එය අද රාත්‍රි 11.07ට පැවැත්වීමට නියමිතයි 

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>