සමන් මධුරංග සුබසිංහ, 2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලේ වැළමිටෙන් පහළ එක් අතක් අහිමි හෝ අප්‍රාණික යන වර්ගීකරණය යටතේ වන T47 කාණ්ඩයේ මීටර් 400 ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ. ඔහු පැරාලිම්පික් උළෙලක් නියෝජනය කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමුවැන්නායි.
“පැරාලිම්පික් සහභාගී වීමේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ වෙනුවෙන් පහුගිය කාලයේ ගොඩක් මහන්සි වුනා. ඒක ඉටු වීම ගැන ගොඩක් සතුටුයි. මේ දවස්වල එක දිගට පුහුණුවීම් වුනා. කොරෝනා තත්ත්වය කියල පුහුණුවීම් මඟ හැරියේ නැහැ. පුළුවන් හැම අවස්ථාවක පුහුණුවීම් කළා. පැරාලිම්පික් උළෙලේ මගේ ඉසව්වේ ලොකු අභියෝගයක් තියෙන්න පුළුවන්. ඊට ඉතා හොඳින් මුහුණ දීම තමයි මගේ එක ම අපේක්ෂාව”, සමන් සුබසිංහ ThePapare.com සමඟ කතාව ආරම්භ කළා.
සුබසිංහ පාසල් ගියේ කුරුණෑගල බුළුවල මහා විද්‍යාලයට. අධ්‍යාපනය ලැබුවේ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. උසස් පෙළ පංති සඳහා සහභාගි වීමේ හැකියාව තිබුනත්, සුබසිංහ ඒකට එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ.
“ඒ දවස්වල මගේ ආසාව තිබුණෙ යුද හමුදාවට බැඳිල සේවය කරන්න. ඒක මොන හේතුවක් නිසා ඇති වුනා ද කියල දන්නෙ නැහැ. ඒත් මම ඒකට ආස කළා. O/Level අවසන් වෙද්දීම මම ගෙදරට කිව්වේ හමුදාවට බැඳෙනවා කියලා. ගෙදරින් ඒකට එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ.”
සුබසිංහලයි පවුලේ ඔහුත් අයියත් පමණයි. පියා, එස්. එම්. ඒ. නන්දසේන. රියදුරෙක් ලෙසින් සේවය කළා. මව ඒ. එන්. සී. අධිකාරි, පිරිමි ළමයි දෙදෙනෙක්ගෙන් යුත් නිවසේ වගකීම් සහිත ගෘහණියක් ලෙස කටයුතු කළා. සුබසිංහට වඩා අයියා අවුරුදු 5කට වැඩිමහල්. ඔහු වර්තමානයේ මෝටර් කාර්මික ශිල්පියෙක් ලෙසින් කටයුතු කරනවා.
එකල පැවති යුධමය තත්ත්වය හේතුවෙන් සුබසිංහගේ දෙමාපියන් පමණක් නොවේ, මේ රටේ බොහෝ දෙමාපියන් තම දරුවන් යුද හමුදාවට එක් වෙනවාට එතරම් ම කැමැත්තක් තිබුණෙ නැහැ. නමුත් සුබසිංහගේ පෙරැත්ත කිරීමේ ද ඉවරයක් තිබුණෙ නැහැ.
“හමුදාවට බැදෙන්න වයස හරි ගිය, දන්න කියන කාලේ සිට ම මම යුද හමුදාවට බැඳෙන්න ඇයදුම් කළා. ඔය අතර නාවික හමුදාවට වගේම ගුවන් හමුදාවටත් අයදුම්පත් දානවා. කොහොම හරි නාවික හමුදාව ඉක්මන් වුනා. නාවික හමුදාවෙන් තමයි මට මුල් ම කැඳවීම ලැබුණේ. ඒ නිසා ම මම නාවික හමුදාව තෝරා ගත්තා.”
ඒ අනුව සුබසිංහ 2008 අවුරුද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක් වෙනවා. පුහුණුවෙන් පසු ක්‍රියාන්විත රාජකාරිය සඳහා ද එක්වෙනවා. එය දරුණු යුද සටන් ඇති වූ කාලවකවානුවක්. නමුත් සන්නද්ධ පුහුණුව ලැබූ සුබසිංහ මෙන් ම ඔවුන්ගේ බලඇණියේ කිසිවෙක්ට එය එතරම් ම ගණන් ගත යුතු තරමේ කාරණයක් වුනේ නැහැ.
ඒ අතරතුර තමයි සුබසිංහ මුහුණ දුන් දෛවෝපගත සිදු වීමට මුහුණ දෙන්න සිදු වෙන්නේ.
“2009 නිලාවතුර, මොල්ලිකුලම්වල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය දී මාව අත් බෝම්බයකට හසු වෙනවා. ඒකෙන් මගේ වම් අතේ මැණික් කටුව ළඟින් අහිමි වෙනවා. අනතුරු වුනාට පස්සේ… ජීවිතේ ඉවරයි වගේ හිතුණා. අම්මලගෙ කීම අහන්නෙ නැතිව නාවික හමුදාවට එක් වීම ගැන කනගාටු වුනා. මාව බලන්න එන අම්මා, අඬද්දී ඒ දුක තවත් වැඩි වුනා.
ඒත් ඉතිං මොනව කරන්නද? අත් දෙකෙන් කරපු දේවල් එක අතකින් කරන්න හුරු වුනා. මුල් කාලෙ නම් මෙලෝ දෙයක් කර ගන්න බැහැ. අපරාදේ නාවික හමුදාවට බැදුණේ කියල හිතුණ වාර අපමරණයි. ඒත් ඉතිං දෙයක් වෙනව නම් ඒක වළක්වන්නත් බැහැ නේ. වසර කිහිපයක් ම බෙහෙත් කළා. ආබාධිත අය සමඟ ඉන්න කොට මේක ලොකු ප්‍රශ්නයක් නෙමේ කියල දැනුණා. අපි අතර කකුල් දෙක ම නැති අයත් හිටියා. මම ආබාධිතයෙක් ලෙස ජීවිතය ගොඩ නැගීම ගැන හිතන්න ගත්තා.”
ආබාධිත බවත් සමඟ සුබසිංහ රාජකාරියට එක් වුනා. ඔහු ඒ සියල්ල සමඟින් නව මානයකින් ජීවිතය ගොඩ ගැනීම ගැන හිතුවා. ඔය අතර තමයි පැරා ක්‍රීඩාවලට සම්බන්ධ වෙන්න සුබසිංහට ආරාධනා ලැබෙන්නේ.
“එතකොට මම සෙත්සිරිපායෙ ආරක්ෂක හමුදා සමාජ සුබ සාධක අංශයේ වැඩ කළේ. ප්‍රධාන සුළු නිලධාරි හරිස්චන්ද්‍ර සර් මට ආරාධනා කරා ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න කියලා. ලොකු ගමනක් යන්න පුළුවන් කියලා සර්ට මට ලොකු විශ්වාසයක් ඇති කළා. සර් තමයි එතකොට නාවික හමුදාවේ මලල ක්‍රීඩා පුහුණුකරු. ඊට පස්සේ නාවික ආබාධිත ක්‍රීඩා සංචිතයේ නායක, බල නැවි වන්නිනායක සර් මට නාවික හමුදා ආබාධිත ක්‍රීඩා සංචිතයට මාරුවීමක් හදලා දුන්නා. පාසල් යන කාලේ නිවාසාන්තර ක්‍රීඩාවල දී වරක් දෙවරක් මැරතන් තරගවලට සහභාගී වුනා. ඒකත් ඉතිං ආවට ගියාට වගේ තමයි කළේ. මේ නිසා මට ක්‍රීඩාවක් කරන්න පුළුවන් ද කියන බයත් තිබුණා. නමුත් එහෙම හිටපු මාව මෙතැනට ගේන්න ඒ අය නිවැරදිව පාර කියල දුන්නා.”
- ආසියාවෙන්ම Rowing ක්‍රීඩාවෙන් පැරාලිම්පික් යන්න සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩකයා – මහේෂ් ජයකොඩි
- කෙටිදුර ඉසව්වේ නව ජවය “මේධානි”
- ඩන්කන් වයිට්ගෙන් ආරම්භ වී නිමාලිගෙන් අවසන් වන ඔලිම්පික් ගිය අපේ ඇත්තෝ
- ඔලිම්පික් යන සූරියවැව දුවන තරුව නිමාලි
- ටෝකියෝ යන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට Dialog සවිබලය
සුබසිංහ ශ්‍රී ලංකා නාවික හමුදා පැරා ක්‍රීඩා සංචිතයට එකතු වෙන්නේ 2016 අවුරුද්දේ පමණ. ඒ වෙන විට ඔහුගේ පුහුණුකරු වෙන්නේ හරිස්චන්ද්‍ර මහතා. ඔහු යටතේ ක්‍රීඩාවේ මූලික අධ්‍යාපනය ලබමින් සුබසිංහ ක්‍රීඩාව ආරම්භ කරනවා.
“ඒ අවුරුද්දේ ම අග හරියෙදි අපි දියතලාවේ පුහුණුවීම් කරනවා බලන්න වත්මන් ක්‍රීඩා විද්‍යායතනයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලාල් සර් ආවා. එදා සර් මාගේ දක්ෂතා දැකලා කිව්වා ඔයාට ඔලිම්පික් පදක්කමකට යන්න පුළුවන් කියලා. එහෙම කියලා හරිස්චන්ද්‍ර සර්ට කියල මාව සර් එක්ක පුහුණු කිරීම් කරන්න ගත්තා. එදා ඉඳලා අද දක්වා ම ජයලාල් සර් එක්ක පුහුණුවීම් කරනවා.”
සුබසිංහ, තමන්ගේ ඉසව්වේ මහා ලොකු ක්‍රීඩා තරග ප්‍රමාණයකට සහභාගී වෙලා නැහැ. ඉඳ-හිටක වේග කාලය මැනීම සඳහා සහභාගී වීම තමයි සුබසිංහගේ ලොකුම තරගය. ඔහු සහභාගී වූ තරග අතරින් පළමුවැන්න වන්නේ 2018 වසරේ ජාකර්තා හි පැවති ආසියානු පැරා තරගාවලිය. එහි දී ඔහු සිව්වැනි ස්ථානය ලබා ගන්නවා. ඊට පසුව මේ වසරේ පෙබරවාරියේ ඩුබායි හී පැවති World Para Athletics Grand Prix තරගාවලිය සඳහා සහභාගී වෙනවා. එම තරගාවලියේ දී ඔහු රිදි පදක්කම දිනා ගන්නවා.
ඔහු සහභාගී වෙන තෙවැනි ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ටෝකියෝ පැරාලිම්පික් උළෙලයි.
“පැරාලිම්පික් කියල දෙයක් හිතකවත් නැති අවස්ථාවක තමයි මම ක්‍රීඩාවට යොමු වෙන්නේ. මාව මේ තත්ත්වයට ගොඩ නැගීමේ ගෞරවය හිමි විය යුත්තේ සජිත් ජයලාල් සර්ට. ඊට පෙර හරිස්චන්ද්‍ර සර් තමයි මට මෙතැනට එන්න පාර කිව්වේ. 2017 අවුරුද්දේ ඉඳල ම මීටර් 400 ඉසව්වෙන් ඉදිරියෙන් ඉන්නවා. මේ වෙනුවෙන් කැපවීමක්, හොඳ පුහුණුවක් අවශ්‍යයි. ඒ සියල්ල මට ලැබෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන සහයෝගය සහ මා වෙනුවෙන් වන කැපවීම ඉතා ඉහළයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සියලු ම නිලයන්ට වගේ ම සහෝදර නාවිකයන්ට ස්තුතිවන්ත වෙනවා”, සමන් සුබසිංහ පවසනවා.
30 හැවිරිදි සුබසිංහ මේ වෙද්දී සිව් හැවිරිදි සිඟිත්තෙක්ගේ හුරතල් බලන පියෙක්. සුබසිංහගේ බිරිඳ තිළිණි ලක්මාලි. ඔවුන්ගේ නිවස කිරි සිනහවෙන් සනසන පුතා දෙසඳු තත්මිර සුබසිංහ.
“ආබාධිත බව අමතක කරලා තරුණයෙක් ලෙසින් ජීවිතය ගොඩ නගා ගන්න අඩිතාලම දා ගත්තේ ක්‍රීඩාවෙන්. ඊට පස්සේ බිරිඳගෙන්. ඇයගේ සෙනෙහසත් ක්‍රීඩාවත් නිසා හැම අඩු පාඩුවක් ම අමතක වුනා. සාමාන්‍ය අයත් එක්ක සාමාන්‍ය විදිහට හිටියා . ඒක ලොකු දෙයක් වුනා. මට ශාරීරික අඩුවක් තියෙනවා කියලා දැන් නම් හිතෙන්නෙ ම නැති තරම්.”
බිරිඳ මාවනැල්ලේ අරණායක. නාවික මිතුරන් සමඟ අරණායක ගියපු අවස්ථාවක තමයි සුබසිංහට, තිළිණි හමුවෙන්නේ. සුබසිංහලා මේ වෙද්දී පදිංචිවෙලා ඉන්නේ සුබසිංහගේ ගම වන මාවතගම.
“මම ආබාධිත වුනාට පස්සේ තමයි තිළිණිත් මමත් ආදර සම්බන්ධයක් ඇති කර ගන්නේ. එයාලයි ගෙදරින් කවදාවත් මට අකමැති වුනේ නැහැ. අම්මා තාත්තා කිවුවේ ගති ගුණ හොඳ නම්, දුව කැමති නම් අපිත් කැමතියි කියලයි. අපේ ගෙදරිනුත් අකමැත්තක් තිබුණෙ නැහැ. අපි දෙපාර්ශ්වයේ ම ආශීර්වාද ඇතිව විවාහ වුනා. මගේ ආබාධිත බව මටවත් තිළිණිටවත් ප්‍රශ්නයක් නැහැ. මගේ හැම අවශ්‍යතාවයක් ම ඇය නොපිරිහෙළා ඉටු කරනවා. එයා මම වෙනුවෙන් විශාල කැපවීමක් කළා සහ අදටත් කරනවා. තිළිණිත් පුතත් තමයි මගේ ලෝකය.”
කාර්යබහුල සුබසිංහට ඔහුගේ ඒ ලෝකයේ සැරිසරන්න සතියකට දවසක් වගේ කාලයක් තමයි ලැබෙන්නේ. සැම සතියක ම සෙනසුරාදා සවස නිවාඩුවට ගෙදර යන සුබසිංහ ඊට පහුවෙනිදා සවස නැවත නාවික නේවාසිකාගාරය වෙත එනවා. ඊට පසුව දිගින් දිගට ම පුහුණුවීම්.
“හැම දෙයක දී ම දෙපාර්ශ්වයේ වගකීම් හැඳිනගෙන සිටීම ඕනෑම කාර්යයක් පහසු කරනවා. මගේ ක්‍රීඩා ජීවිතයේත්, විවාහ ජීවිතයේත් වගකීම් අපි එකිනෙකා බෙදා ගන්නවා. ක්‍රීඩා පුහුණුවේ දී මගේ හිත තියෙන්නේ ඒ තුළ පමණයි. මම අපේ පවුලට විතරක් අයිති චරිතයක් නෙමේ. දැන් මුලු ලංකාවට අයිති කෙනෙක් කියල හිතෙද්දී ලොකු ආඩම්බරයක් දැනෙනවා. ශ්‍රී ලාංකිකයෝ මගෙන් බලාපොරොත්තු වෙන දේ ට මගෙන් සාධාරණයක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් යන ගමනේ දී මගේ බිරිඳ මට දීල තියෙන නිදහස, නාවික හමුදාව තරමට ම මට වටිනවා” සමන් සුබසිංහ පැවැසුවා.
පැරාලිම්පික් උළෙලේ සිංහ ධජය ළෙලවන්නට එරට යන සමන් සුබසිංහට ThePapare.com හී සුබ පැතුම්.
ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<