2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ සම්පත් හෙට්ටිආරච්චි. 2016 රියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙල නියෝජනය කළ ක්‍රීඩකයන් අතර සම්පත් ද සිටිනවා.
“ගොඩක් සතුටු වෙනවා, පිට පිට දෙවැනි වරටත් පැරාලිම්පික් උළෙලක් සඳහා සහභාගී වීමට ලැබීම ගැන. ඒ වෙනුවෙන් උපරිමයෙන් මේ දවස්වල පුහුණුවීම් ලබනවා. පසුගිය පැරාලිම්පික් උළෙලේ ද අත්දැකීම් සමඟ මෙවර රට වෙනුවෙන් පදක්කමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා”, සම්පත් ThePapare.com සමඟ කතාබහ ආරම්භ කළේ ඒ අයුරින්.
සම්පත්ගේ ගම කිතුල්හිටියාව, රාමදෙගල. කැකිරාවේ සිට හැතැප්ම 16ක් විතර යන්න ඕන. අයියත්, අක්කත් සිටි පවුලේ බාලයා සම්පත්. පියා ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ගොවිතැන කළේ. අම්මා එම්. එම්. සීලවතී. ඇය අධ්‍යාපන කාර්යාලයේ සේවය කළා.
සම්පත් පාසල් ගියේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලේ ක්‍රීඩාවක නිරත වුනා නම් ඒ නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වෙන විට පමණක් සහභාගී වූ ක්‍රීඩාවකට පමණයි. ඉගෙන ගත්තෙත් සාමාන්‍ය පෙළ දක්වා පමණයි.
“ඉස්කෝලෙ යන කාලේ සිට ම හමුදාවට බැඳෙනවා කියන බලාපොරොත්තුවෙන් හිටියේ. ගෙදරටත් කිය කිය හිටියේ ඒකම තමයි. ඒත් ගෙදරින් නම් ඒකට කැමැත්තක් දැක්වුවේ නැහැ. ‘කන්න බොන්න දෙන්නම් උඹ ගෙදරට වෙලා හිටපන්’ කියල තමයි අප්පච්චි කිව්වේ. ඒත් මම මගේ අදහස අත හැරියේ නැහැ. සාමාන්‍ය පෙළ ඉවර වුනා විතරයි මම හමුදාවට බැඳෙන්න ගෙදරට හොරා අයැදුම් කළා.”
සම්පත් හමුදාවට බැඳෙන්නේ ඒ විදිහට. කැඳවීම් ලිපිය ආවත් සම්පත්ට යන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒත් සම්පත් තමන්ගේ අදහස අත් හරින්නෙත් නැහැ. ඔහු ගෙදර සියල්ලන්ට ම හොර රහසේ යුද හමුදා පුහුණුවට එක් වෙනවා. ඒ පුත්තලම, සිංහවිල්වත්ත විජයබා පුහුණු පාසලට ඇතුළත් වෙමින්.
“පුහුණුවට ඇවිත් මාසෙකට විතර පස්සේ ගෙදරට ලියුමක් දැම්මා. අම්මත්, අප්පච්චිත් මාව බලන්න ආවා. ඒ එද්දී නම් එච්චර අකමැත්තක් පෙන්නුවේ නැහැ. නමුත් හිත යටින් ඔවුන්ගේ එච්චර කැමැත්තක් නැහැ කියල දැනුණා. ඒත් ඉතිං කවදාවත් හමුදාවෙන් ඉවත් වෙන්න කියල කිව්වේ නැහැ. මම මාස 3ක පුහුණුවකින් පස්සේ 5 වැනි විජයබා පාබල රෙජිමේන්තුව සමඟ යාපනයට ගියා. ඒක මගේ මුල් ම ක්‍රියාන්විත සේවය.”
ඉන් අනතුරුව සම්පත් කිලාලි, මුවමාලේ. නගර කෝවිල් වැනි උතුරු පළාත් ප්‍රදේශවල ඉදිරිපෙළ සටනේ අවුරුදු 9ක් පමණ එක දිගට සේවය කළා. මානුෂීය මෙහෙයුම් අවසන් සටන් පැවති 2008 දෙසැම්බර් 04 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සම්පත්ට කකුලක් අහිමි වෙමින් ආබාධිත බවට පත්වෙනවා.
ඒ අනුවයි සම්පත් F64 කකුල දණහිසට පහළින් කපා ඉවත් කරන ලද කාණ්ඩය යටතේ පැරා තරගවල දී නිර්දේශ වන්නේ.
සම්පත්ට වූ මේ විපත්තිය මවත්, පියාත් දරා ගත්තේ හැඬූ කඳුළින්. පංසල්වලට, දේවාලවලට බාර-හාර වෙමින් ඔවුන් සම්පත්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළා. දෙමාපියන්ගේ අකමැත්තට හමුදාවට බැඳීම ගැන ඒ දවස්වල තමයි සම්පත්ට බැනුම් අහන්න වෙන්නේ. සම්පත්ට ඒක එච්චර ගාණක් ගියේ නැහැ. කොච්චර බැන්නත් සම්පත්ගේ අවශ්‍යතා ඉටු කරන්නත් ඔවුන් පසු බට වුනේ නැහැ.
“පළාලිවලට එනකම් මම කිසිවක් දන්නේ නැහැ. ඊට පහුවෙනිදා ම මම කොළඹ ජාතික රෝහලට මාරු කළා. ඊට පස්සේ මාස ගණනක් යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. අම්මත් – අප්පච්චිත් ගෙදර අයත් යාලුවොත් මාරුවෙන් මාරුවට මාව බලන්න ආවා. ගෙදර එක්ක යන්න කතා කළා. නමුත් මට හමුදාව දාල යන්න හිතක් තිබුණෙ නැහැ. පස්සේ රාගම රණවිරු සෙවනෙ දි කෘතීම කකුලක් දාල ඇවිදින්න පුරුදු වුනා.”
- පැරාලිම්පික් යන “බුත්තල ලොක්කි” කුමුදු ප්‍රියංකා
- නාවික ඉතිහාසයේ පැරාලිම්පික් යන පළමුවැනියා “සුබසිංහ”
- ආසියාවෙන්ම Rowing ක්‍රීඩාවෙන් පැරාලිම්පික් යන්න සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩකයා – මහේෂ් ජයකොඩි
- කෙටිදුර ඉසව්වේ නව ජවය “මේධානි”
- ටෝකියෝ යන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට Dialog සවිබලය
යම්තම් ඇවිදින්න පුළුවන් වුනාට පස්සේ සම්පත් බෝයගනේ. සිංහවිල්ලුව වගේ විජයබා රෙජිමේන්තුවේ කඳවුරුවල සේවය කළා. ඒක සම්පත් කළේ බොහෝම පහන් සිතින්. අම්මලා නැවත නිහඬ වුනා. සම්පත්ට කැමැත්තක් කරගන්න ඉඩ දුන්නා.
“කකුලක් නැහැ කියල මට මොනම මොහොතකවත් දැනුණේ නැහැ. මට අවශ්‍ය වුනේ මොකක් හරි වැඩක යෙදෙන්න. ඒ අතර තමයි මම ක්‍රීඩාවට යොමු වෙන්නේ. අළුදෙණිය සර් තමයි මාව ක්‍රීඩාවට යොමු කළේ.“
සම්පත් තනි කකුලෙන් සිටිමින් ක්‍රිකට් ගැහුවා, වොලිබෝල් ගැහුවා. ඔය අතර ම හෙල්ල, කවපෙත්ත සහ යගුලිය දාන්නත් ගත්තා. මෙහෙම ටික කාලයක් සෙල්ලම් කරද්දී සම්පත්ගේ වැඩි අවධානය හෙල්ල, කවපෙත්ත සහ යගුලිය දැමීමට යොමු වෙනවා. ඒ දැමිල්ල වරදක් වෙන්නේ නැහැ. සම්පත් යුද හමුදා ආබාධිත ක්‍රීඩා බලඇණියේ දක්ෂ ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා.
සම්පත් 2012 වසරේ මැලේසියාවේ පැවති විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙමින් කවපෙත්ත දැමීමේ ඉසව්වේ රිදි පදක්කමත්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් දිනා ගන්නවා. ඒක තමයි සම්පත්ගේ මංගල ජාත්‍යන්තර තරග සහභාගීත්වය.
ඉන් අනතුරුව 2013 වසරේ චීනයේ පැවති විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමත්, යගුලිය දැමීමේ ඉසව්වෙන් රිදි පදක්කමත්, 2014 වසරේ දී කොරියාවේ දී පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී කවපෙත්ත දැමීමෙන් 4 වැනි ස්ථානයත්, හෙල්ල විසිකිරීමෙන් 8 වැනි ස්ථානයත් දිනා ගන්නවා.
අනතුරුව 2015 වසරේ දී දෝහා කටාර් හි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වීමටත් සුදුසුකම් ලබා ගනිමින් සහභාගී වූවත් ඔහුට එහි දී ඉදිරි පෙළ ස්ථානයක් හිමි වෙන්නේ නැහැ. නමුත් 2016 වසරේ ඩුබායි හි පැවති ආසියානු ශාන්තිකර කලාපීය පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් එහි සිව්වැනි ස්ථානය දිනා ගනිමින් එම වසරේ ම බ්‍රසීලයේ පැවති රියෝ පැරාලිම්පික් උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. ඒකත් හෙල්ල විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන්.
“ඒක මගේ පළමු පැරාලිම්පික් අත්දැකීම. මම මගේ උපරිමයෙන් කළා. ඒත් ලබා ගන්න පුළුවන් වුනේ 9 වැනි ස්ථානය. එදා මම හිතා ගත්තා පුළුවන් කාලයක් ක්‍රීඩාවේ යෙදෙනවා කියලා. අනෙකුත් ක්‍රීඩාවන් ටිකක් අමතක කරලා මම හෙල්ල දැමීම ගැන වැඩි අවධානය යොමු කළා.”
ඉන් අනතුරුව සම්පත් 2018 මැලේසියාවේ දී පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමත්, 2019 වසරේ දී ඩුබායි හිදි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙමින් 9 වැනි ස්ථානයත් දිනා ගන්නවා. අනතුරුව මේ වසරේ දී ඩුබායි හිදි පැවති World Para Athletics Grand Prix තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙවර ටෝකියෝ පැරාලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
“හොඳ පුහුණුවීමක් ලැබුවා. කොරෝනා තත්ත්වය නිසා ඇතැම් දවස්වල පුහුණුවීම් මඟ හැරුණා. නමුත් හොඳ සූදානමකින් ඉන්නවා. මගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා මම වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. වෙනත් කෙනෙක්ට පුහුණු කරනවා වගේ නෙමේ අපි වගේ කෙනෙක්ට පුහුණු කරවන එක. ඒත් ඔහු ඉතා කැමැත්තෙන් සහ කැපවීමෙන් මගේ දියුණුව අපේක්ෂා කරනවා. ඒ වගේ ම යුද හමුදාපතිතුමා ඇතුළු විජයබා රෙජිමේන්තුවේ සියලුම දෙනාත්, පැරාලිම්පික් කමිටුවේ සියලු දෙනාමත් ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයටත් මේ අවස්ථාවේ ස්තුති කරන්න කැමතියි”, සම්පත් හෙට්ටිආරච්චි පැවසුවා.
සම්පත් ජිවත් වෙන්නේ දෙමාපියන් සමඟ කැකිරාවේ. ඔහුට 14 වියැති ආදරණීය දියණියක් සිටිනවා. ඇය චෙනුමි සෙහන්සා දම්සිනි හෙට්ටිආරච්චි. මුලින් ම පාසල් යන්නේ දඹුල්ල වීර මොහාන් ජයමහ විද්‍යාලයට. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන ඇය ඉන් පස්සේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා. එහි හොකි කණ්ඩායමේ නායිකාව වීමටත් ඇය සමත් වෙනවා. නමුත් කොරෝනා උවදුරත් සමඟින් ඇය සම්පත්ගේ මවගේත්, අප්පච්චිගේත් සෙවනේ හැදී වැඩෙමින් කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කරනවා.
“මම නිතර ම ගෙදර නැහැ. වැඩි හරියක් ඉන්නේ කොළඹ. දුවත් වැඩි කාලයක් පාසල් ගියේ නේවාසික වෙලා. නමුත් වර්තමාන තත්ත්වය අනුව දුව නිවෙසින් පිටත සිටිනවාට අම්මත් අප්පච්චිත් කැමති වුනේ නැහැ. ඒ නිසා දැන් ඇය අම්මත් අප්පච්චිත් එක්ක මහගෙදර ඉන්නවා. ඔවුන් මගේ ක්‍රීඩා ජීවිතයට ගොඩක් සමීපයි. ඒ ගැන නිතර ම සොයා බලනවා. ඔවුන් තමයි ආබාධිත මගේ ලෝකය” සම්පත් පැවසුවා.
ටෝකියෝ පැරාලිම්පික් උළෙලට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. මෙරට නාමය ගෞරවනීය තත්ත්වයට පත් කිරීමට සම්පත්ගේ උත්සාහයයි. එය සාර්ථක වේවායි ThePapare.com අපි සැමගේ සුබ පැතුම් එක් කරමු.
ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා. තරගාවලිය මේ මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සිරි අසිරිය විඳගන්න, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<