ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ක්‍රීඩාවෙන් එක්වේ

407

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගිය දා ශ්‍රී ලංකා රග්බි ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණේ දෙපාර්ශවය මෙන්ම රටවල් දෙක අතර ද පවතින සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණ ඇතිවයි. 

මේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහා කොමසාරිස් ගරු මේජර් ජෙනරාල් Muhammad Saad Khattak මහතා විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න වෙත රග්බි jersey, කලිසම් මෙන්ම රග්බි පන්දු ද පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදි. 

මෙම අවස්ථාව සඳහා තවදුරටත් නියෝජ්‍ය මහා කොමසාරිස් Tanvir Ahmed, වෙළඳ සහ ආයෝජන උප තානාපති Assmma Kamal, මාධ්‍ය පිළිබඳ උප තානාපති Inthisar Ahmed, දෙවන ලේකම් Ayesha Abu Bakr Fahad යන මහත්ම මහත්මීන් ද එක්වූහ. 

මෙහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න විසින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉතිහාසය පුරාවටම ඉතා සමීප ද්විපාර්ශවික සබඳතා පැවති බව අවධාරණය කර සිටි අතර අවසානයේ එක්වූ විශේෂ අමුත්තන් සඳහා ඔහු විසින් ශ්‍රී ලංකා ඇතුන්ගේ සුවිශේෂී සිහිවටනයක් ද පිරිනැමීමට කටයුතු කළේය. 

ඔහු මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ;

“ශ්‍රී ලංකාව සතුව ලෝක රග්බි ආයතනය විසින් පිළිගත්ත වෘත්තීය අභ්‍යාසකයින් වගේම පුහුණුකරුවන් රැසක් ඉන්නවා. ඉතින් ඔවුන් අතරින් කිහිප දෙනෙක් පාකිස්තානයේ රග්බි ක්‍රීඩාව දියුණු කරන්න යවන්න ලැබෙනවා නම් ඒක අපිට ලොකු සතුටක්.”

අවසාන වශයෙන් පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත එළඹෙන දකුණු ආසියාතික තරගාවලිය සඳහා සත් සාමාජික රග්බි ක්‍රීඩාව තරග ඉසව්වක් ලෙස ඇතුළත් කිරීම පිළිබඳව සලකා බලන ලෙසට ද මහා කොමසාරිස් කාර්යාලයේ රැස්ව සිටි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද ඔහු කටයුතු කළේය. 

ඔහුට අනතුරුව අදහස් දැක්වූ ලංකාවේ පාකිස්තාන මහා කොමසාරිස් ගරු මේජර් ජෙනරාල් Muhammad Saad Khattak මහතා විසින් තමන්ගේ ම අත්දැකීම් උදාහරණ ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පිළිබඳව අදහස් පළකරන්නට විය. එතුමා එහි දී පවසා සිටි ආකාරයට මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාව කෙරෙහි සිදු කළ හොඳ හිත දැක්වීමේ සංකේතයක් පමණක් වන අතර ඒ හරහා දෙරට අතර පවතින සබඳතා ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කරගැනීමට මඟපෑදෙනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ. 

එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ගේ ජාන තුළම ක්‍රීඩාව පවතින බවත්, මෙම පරිත්‍යාගය එක් රටක් විසින් තවත් රටක් වෙත සිදු කරනු ලැබූ යුතුකම් ඉටු කිරීමක් බවත් ය. 

තවත් කියවන්න;

ජාතික රග්බි සංචිත නම් කෙරේ

හිටපු ඕල් බ්ලැක්ස් නායකයාට ගෞරව නාමයක්

Investec Super Rugby Aotearoa තරගාවලියේ නව වෙනස්කම් රැසක්

                      කහ රතු කාඩ්වලට අමතරව තවත් කාඩ්පතක්?                        

ගුණරත්න විසින් සිදු කළ ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් Khattak මහතා මෙහි දී පවසා සිටියේ “මහා කොමසාරිස් කාර්යාලය අපිට පුළුවන් උපරිමයෙන් කටයුතු කර එම ඉල්ලීම සපුරාලීමට උත්සාහ කරනවා,” යනුවෙනි. 

සිය කතාව අවසන් කරමින් එතුමා මෙහි දී පවසා සිටියේ විශේෂයෙන් ක්‍රීඩාව අතින් අත්කරගෙන ඇති වර්ධනය පිළිබඳව දැක බලා ගැනීමට ඔහු ඉදිරියේ දී ද ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි. 

අවසානයේ දෙපාර්ශවය ම සමරු සටහන් හුවමාරු කරගනිමින් ඉතා සුහදශීලීව මෙම හමුව අවසන් වන්නට විය. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<