ඕස්ට්‍රේලියාව මෙන් පාකිස්තාන කණ්ඩායම ද ඉදිරියේ දී ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් නොවන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Najam Sethi තහවුරු කර තිබෙනවා.
ක්‍රීඩාව සහ දේශපාලනය වෙන වෙනම තබා ගත යුතු බව සඳහන් කරමින් Sethi තහවුරු කර ඇත්තේ එළඹෙන මාර්තු මාසයේ දී විස්සයි විස්ස තරග තුනක් තෝරා ගත් ක්‍රීඩාංගණයක පැවැත්වීමට සහ තරගාවලියෙන් උපයන ආදායම ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල අතරේ සම සමව බෙදී යනු ඇති බවයි.
පසුගිය 12 වැනිදා ඕස්ට්‍රේලියාව විසින් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබූ අතර, එහි දී ඔවුන් එයට හේතුව ලෙස සඳහන් කළේ ඇෆ්ගනිස්තාන රජය විසින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට ඇති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිවාසිකම සීමා කිරීම බවයි.
ඒ පිළිබඳ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ස්ථාවරය විමසූ විට Sethi ප්‍රකාශ කළේ, එය ඔවුන්ට අදාළ ගැටළුවක් නොවන බවයි.
“ඒක අපේ ගැටළුවක් නෙවෙයි, වෙනත් රටවල අභ්‍යන්තර ගැටලුවලට මැදිහත් වෙන්න අපිට අවශ්‍ය නැහැ. මගේ පෞද්ගලික ස්ථාවරය තමයි ක්‍රිකට් සහ දේශපාලනය අතර පැටලීම් ඇති නොවිය යුතුයි කියන දේ. ඒ අනුව මෙම තරගාවලියට පාකිස්තාන රජයෙන් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටිනවා, සහ මම හිතනවා අවශ්‍ය අනුමැතිය ලැබේවි කියලා.”
- 2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්!
- පන්දුවාර හතරකින් ලොකු මුදලක් ඉපයීමට හැකි වීම ටෙස්ට් කඩා වැටීමේ හේතුවයි – Wasim Akram
- බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වලට මොකද වුනේ; විශේෂ කමිටුවක් හේතු දක්වයි!
- ICC රවටා සිදු කළ මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු හෙලි වෙයි!
- Babarගේ සහයට ක්‍රිකට් පාලක මණ්ඩලයත් පැමිණෙයි
එමෙන්ම මේ වන විටත් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙකම 2023 ICC එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ඇති බැවින් සුපර් ලීග් ලකුණු සටහන ඒ තරම් ම වැදගත් නොවන නිසා මීට පෙර පැවැත්වීමට නියමිත ව තිබුණු එක් දින තරග වෙනුවට විස්සයි විස්ස තරග තුනක් මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
“මම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල විධායකයකින් මුණ ගැසුණ මොහොතේ ඔවුන් ඉල්ලා සිටියේ එක්දින තරගාවලියක් ක්‍රීඩා කරමු කියලා. නමුත් අපිට එක්දින තරගාවලියක් වෙනුවෙන් කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. මොකද මෙම තරගාවලිය ප්‍රධාන වශයෙන් ම සුපර් ලීග් ලකුණු සටහනට අදාළ ව පැවැත්වීමට නියමිත එකක් සහ දැන් එයින් කවුරු දිනුවත් වෙනසක් නොවන නිසා PSL තරගාවලියෙන් පසුව රජයේ අනුමැතියට යටත් ව විස්සයි විස්ස තරග තුනක් සාජා හී දී ක්‍රීඩා කිරීමට අපි එකඟ වුනා.
එ වගේම තරගාවලියෙන් ලැබෙන ආදායම අපි සම සමව බෙදා ගන්නත් එකඟ වුනා.”
මීට පෙර පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර ද්විපාර්ශ්වික තරගාවලියක් 2021 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට යෝජනා වී තිබුනත්, ඇෆ්ගනිස්තාන රජය තලේබාන් පාලනයට නතු වීමත් සමඟින් පැන නැගුණු ගැටලු නිසා එම තරගාවලිය කල් දැමීමට සිදු වුනා.
යෝජිත විස්සයි විස්ස තරගාවලිය මාර්තු 20 සිට 28 තෙක් පැවැත්වීමට නියමිත අතර, මෙම වසරේ අගෝස්තු මාසයේ දී නැවත පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
ESPN cricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<