2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය ඊයේ (6) පාකිස්තානය සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මක වුනා.
තරගාවලියේ 7 වැනි තරගය වූ එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගෙන සුපිරි 4 වටය සඳහා ආරම්භය ලබා ගන්නට පාකිස්තානය සමත් වුනු අතර ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත් Haris Rauf තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශයේ පළමු කඩුලු 4 ලකුණු 47ක් තුල බිඳ වැටීමෙන් අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩනැංවීමට Mushfiqur Rahim සහ Shakib Al Hasan සමත් වුනා.
පළමු පන්දුවාර 10 powerplay අවස්ථාව තුල පාකිස්තානු ප්‍රබල වේගපන්දු යවන්නන් හමුවේ කඩුලු 4ක් දැවී ලකුණු 49ක් ලබා ගත් බංග්ලාදේශ ඉනිමට නැවත ගොඩනැංවීමට සමත් වුනු Rahim සහ Shakib සිය පරිණත බව මනාව පෙන්නුම් කරමින් පාකිස්තානු පන්දු බලඇණිය ඉතාමත් හොඳින් පාලනය කළා.
සිය එක්දින දිවියේ 54 වැනි අර්ධ ශතකය ලබා ගත් Shakibගේ කඩුල්ල (ලකුණු 54 දී) දවා ගනිමින් Faheem Ashraf පාකිස්තානයට හිසරදයක් වෙමින් ගොඩනැංවුණු සබඳතාවයට තිත තැබුවා. පන්දු 57ක දී වාර්තා වුනු Shakibගේ ඉනිමට 4 පහර 7ක් ඇතුළත් වුනා.
අනතුරුව සිය පසුපෙළ පිතිකරුවන් සමඟ තරගකාරී ලකුණු මට්ටමක් දක්වා බංග්ලාදේශය රැගෙන යන්නට Mushfiqur Rahim උත්සහ කළත්, ඔහුව ලකුණු 64 දී නවතාලීමට Haris Rauf සමත් වුනා. සිය 46 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගත් ඔහුගේ ඉනිම 4 පහර 5කින් හැඩගැන්වුනා.
අවසානයේ දී ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 46ක් තුල දවා ගන්නට Haris Rauf ඇතුළු පාකිස්තානු පන්දු යවන්නන් සමත් වුනු අතර Iftikhar Ahmed දවා ගත් කඩුල්ල හැරෙන්නට අනෙක් කඩුලු 9 දවා ගත්තේ පාකිස්තානු වේගපන්දු යවන්නන් විසින් වීම කැපී පෙනුණා.
- ආසියානු කුසලානයේ ඉතිරි තරගවල වෙනසක් නැහැ
- ගණිත කර්ම ගැන ඇෆ්ගනිස්තානය දැනන් හිටියේ නැති ලු!
- සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව
- Nabiගේ ප්රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට
- උණුහුම වැඩි අරාබියට වඩා වැස්ස වැඩි ලංකාව හොඳයි
පන්දුවාර 38කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී බංග්ලාදේශය ලබා දුන් ලකුණු 194 ඉලක්කය පන්දුවාර 39කුත් පන්දු 3ක් තුල කඩුලු 3ක් දැවී සපුරා ගන්නට පාකිස්තානය සමත් වුනා.
එහි දී Imam-ul-Haq පන්දු 84ක් තුල 4 පහර 5ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 78ක් ලබාගෙන ඉනිම ස්ථාවර කළ අතර Mohammad Rizwan නොදැවී ලකුණු 63*ක් ලබාගෙන පාකිස්තානයේ ජය තහවුරු කළා.
ඒ අනුව පළමු වරට රටවල් දෙකක ක්‍රියාත්මක වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන අදියර මේ තරගයත් සමඟම නිමා වුනු අතර, පාකිස්තානයේ සිටින කණ්ඩායම් 3 (පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව) අද (7) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
සුපිරි 4 වටයේ මීළඟ තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 9 වැනිදා, සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<