කාලසටහන සූදානම්, නමුත් පාකිස්තානය තවමත් වැට උඩ!

ICC Cricket World Cup 2023

1149

ICCය විසින් එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානය සඳහා නිල කාලසටහන ප්‍රකාශයට පත් කළත්, තමන් තරගාවලියට සහභාගී වන බව තහවුරු කිරීමට නම් පාකිස්තාන රජයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවධාරණය කරනවා.

මෙම වසරේ ඔක්තෝබර් 5 වැනිදා සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන අද (27) ICC මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, එම දැනුම්දී මෙන් පැය කිහිපයකට පසුව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයකු විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

“තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ද ඇතුළුව ඉන්දියාවට යන ඕනෑම සංචාරයක් සඳහා PCB වෙත පාකිස්තාන රජයේ අනුමැතිය අවශ්‍ය වෙනවා.”

PCB විසින් මීට දින කිහිපයකට පෙර ද මේ හා සමාන ප්‍රකාශයක් සිදු කරමින් ඉන්දියාවට යෑමට නම් රාජ්‍ය අනුමැතිය අත්‍යාවශ්‍ය බව සඳහන් කළ අතර, ඊට පෙර සිට ම ඔවුන් විසින් සිය තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ වෙනස් කිරීම වෙනුවෙන් ද ICC වෙතින් ඉල්ලීම් සිදු කරා.

“අපි මග පෙන්වීමක් බලාපොරොත්තුවෙන් අපගේ රජය සමඟින් සන්නිවේදන කටයුතු සිදු කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලද වහාම අපි ඒ පිළිබඳ ව ICCය දැනුවත් කරනවා.

මෙය මීට සති කිහිපයකට පෙර අප සමඟ දළ කාලසටහන බෙදා ගත් අවස්ථාවේ ICCය සමඟ සිදු කළ සන්නිවේදනය සමඟ ද සමපාත වේ.”

මීට පෙර පාකිස්තානය විසින් ICC වෙතින් ඉල්ලීම් කරමින් පවසා සිටියේ ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගය අහමදාබාද් හි නොපවත්වා චෙන්නායි හෝ බැංගලෝරය වෙත මාරු කරනා ලෙසයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග ද්විත්වය බැංගලෝර් සහ චෙන්නායි වලින් වෙනත් ක්‍රීඩාංගණ වෙත මාරු කරන ලෙස ද පාකිස්තානයෙන් ඉල්ලීම් ලැබී තිබුණා.

නමුත් අද දිනයේ ප්‍රකාශයට පත් කළ කාලසටහන අනුව එම කිසිදු ඉල්ලීමකට ICC සහ BCCI වෙතින් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි දකින්නට ලැබෙන්නේ.

එමෙන්ම පාකිස්තානය විසින් තරගාවලියට සහභාගී වීම සඳහා “සහභාගීත්ව ගිවිසුමක්” අත්සන් කර ඇති නිසා සහ පාකිස්තානයෙන් ඊට පටහැණි ප්‍රතිචාරයක් මීට පෙර නොදැක්වීම හේතුවෙන් ඔවුන් මෙවර තරගාවලියට අනිවාර්යයෙන් ම සහභාගී වනු ඇති බවට ද ICCය විසින් ප්‍රකාශ කරනවා.

“සියලු ම සාමාජිකයන් තම රටේ නීතිරීති වලට යටත් විය යුතු අතර, අපි එයට ගරු කරනවා. නමුත් ලෝක කුසලානය සඳහා පාකිස්තානය ඉන්දියාවට පැමිණෙනු ඇති බව අපිට විශ්වාසයි.

පවතින තත්වය පිළිබඳ අදහස් දක්වමින් ICC නියෝජිතයෙකු විසින් මේ බව ප්‍රකාශ කර තිබුණා.

මේ අතර අද දිනයේ ප්‍රකාශයට පත් කළ තරග කාලසටහන අනුව පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත පළමු ලෝක කුසලාන තරග දෙක ම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායම් සමඟ (Qualifier 1, Qualifier 2) ඔක්තෝබර් 6 සහ 12 දිනවල දී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මේ වන විටත් බොහෝ ප්‍රේක්ෂක අවධානයක් යොමු වී තිබෙන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තානය විසින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවහොත් එහි දී පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත අවසන් පූර්ව තරගය කොල්කාටා හිදි අනිවාර්යයෙන් ම පැවැත්වෙන බවට (අනෙක් පාර්ශවය ඉන්දියාව වුව ද) ICC සහ BCCI විසින් තහවුරු කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  සියලු ම නැවුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<