අමුතු විශ්වාස සමඟ ජයග්‍රහණ සොයන ලෝ ප්‍රකට ඔලිම්පික් තරු

Paris Olympics 2024

2
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ තවත් සතියකටත් වඩා අඩු කාල සීමාවක්.

මේ නිසාම මෙවර ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් ThePapare විසින් ඔබ වෙත රැගෙන එන විශේෂ ලිපි මාලාවේ තවත් එක් ලිපියක් මේ විදිහට ආරම්භ වෙනවා.

ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩා දක්ෂතා විතරක් ම නෙවෙයි කියන එක ප්‍රසිද්ධ සත්‍යයක්. ක්‍රීඩාව ගැන කතා කරද්දී දක්ෂතාවට අමතරව වාසනාව, ලැබීම් නොලැබීම් ගැනත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට කතා කරන්න සිදු වෙනවා.

ඉතින් මොන තරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුනත් එක් මොහොතක බලපාන අවාසනාවන්ත සිදුවීමක් නිසා ක්‍රීඩා ජීවිතයම වෙනස් වෙන්න බැරි කමක් නැහැ. මේ නිසාම ක්‍රීඩා ලෝකයේ ඉන්න සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ වාසනාවේ නිර්මාතෘ බවට පත් වෙන්න තීරණය කරනවා.

මේ නිසා ඔවුන් තමන්ගේ ක්‍රීඩා කටයුතුවලට කලින් වගේම සමහර විට ක්‍රීඩාව අතරතුර දී පවා වෙනත් අයගෙන් දකින්න නොලැබෙන විශේෂ හැසිරීම්වලට හුරු වෙලා ඉන්නවා. කවුරු කොහොම මොන දේ කිව්වත් තමන්ගේ ඒ වෙනස් හැසිරීම් රටා තමන්ගේ ක්‍රීඩාවට විශේෂ බලපෑමක් සිදු කළ බව ඔවුන් විශ්වාස කරනවා.

අද ලිපිය ලියැවෙන්නේ ඒ වගේ ඔලිම්පික් නියෝජනය කළ සහ කරන්නට සුදානමින් ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් පිළිබඳව.

Rafael Nadal

ඔලිම්පික් රන් පදක්කම් ද්විත්වයක හිමි කරුවෙක් වන Rafael කියන්නේ මෙතෙක් ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයින් අතුරින් කෙනෙක් බව රහසක් නෙවෙයි.

ඔහු තමන් ක්‍රීඩා කරන සෑම තරගයකට ම මිනිත්තු 45කට පෙර අයිස් මෙන් සීතල ජලයෙන් ස්නානය කරනවා වගේම, එමගින් තමන්ට නව මානසික මට්ටමකට පැමිණීමට හැකි වන බවත් ඔහු විශ්වාස කරනවා.

මීට අමතරව ක්‍රීඩා පිටියට පිවිසීමෙන් පසුව Nadal තමන් සතුව තියෙන වතුර බෝතල් එකම ආකාරයකට පෙළගැස්වීමට පුරුදු වී සිටින අතර, එවිට එම බෝතල් ලේබල් එකම දිශාවකට මුහුණ යොමා තිබිය යුතුයි. ඒ වගේම ටෙනිස් ක්‍රීඩා වලල්ලට පිවිසීමට පෙර ඔහු විසින් සිය ඇඳුම් ආයිත්තම් සකසා ගැනීමේ රටාවකට ද හුරු පුරුදු වී සිටින බව ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි.

මම මගේ දෙපා පාමුල බෝතල් දෙකක් තියනවා. ඒවා මගේ පුටුව ඉදිරියෙන් වම් පසින් එකක් පසුපස එකක් තැබිය යුතුයි.

සිය පුරුදු පිළිබඳ එසේ විස්තර කරන නඩාල් පසුව එහි අර්ථය මෙසේ පහදා දෙනවා.

ටෙනිස් කියන්නේ මානසික ආක්‍රමණශීලී බව අත්‍යාවශ්‍ය ක්‍රීඩාවක්. බාහිර ඕනෑම දෙයකින් මාව වෙනස් වෙන්න ඉඩ තියෙනවා

තම මානසික ඒකාග්‍රතාවය රැක ගැනීම වෙනුවෙන් ඔහු මෙවැනි දෑ වලට හුරු පුරුදු වී ඇති බව වටහා ගත හැකි.

Naomi Osaka

Grand Slams ශූරතා හතරකට හිමිකම් කියන Naomi ද Rafael Nadal වගේම වතුර බෝතල්වල පිහිටීම පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරනවා.

ඇයටත් තමන්ගේ වතුර බෝතල් එකම රේඛාවක, එක දිශාවකට මුහුණ ලා තබන්න අවශ්‍යයි. නමුත් තමන්ට එසේ අවශ්‍ය වීමට හේතුව කුමක් ද යන්න ඇයටත් හරි හැටි විශ්වාසයක් නැති බවත් ඇය සඳහන් කරනවා.

Daniil Medvedev

තවත් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකාවක වන Daniil Medvedev තමන්ගේ සෑම තරගයකට ම පැය 2 මිනිත්තු 30කට පෙර ආහාර ගැනීමට පුරුදු වෙලා ඉන්නවා.

මම හරියටම මගේ තරගයට පැය දෙකයි මිනිත්තු 30කට පෙර ආහාර ලබා ගන්නවා. හැම වෙලාවකම, එක තත්පරයක් වත් කලින් හෝ පසුව නෙවෙයි. මම මේවා වෙනස් කරන්නේ නැහැ.

Gianmarco Tamberi

ඉතාලි ජාතික උසපැනිමේ ශූර Gianmarco Tamberi පිළිබඳවත් මෙවැනි ම සුවිශේෂී පුරුද්දක් ඔබටත් දක්නට ලැබිලා ඇති.

ඔහු තමන්ගේ බොහෝ උසපැනීමේ තරගවල සුදුසුකම් ලබා ගැනීමේ වටයට මුහුණේ සම්පූර්ණ රැවුල සහිතව පිවිසෙන අතර, අවසන් මහා තරගයේ දී අඩ රැවුලක් සහිතවයි තරගයට පිවිසෙන්නේ.

මීට වසර ගණනකට පෙර සිට ඔහු පවත්වාගෙන එන මෙම පුරුද්ද මූලිකවම තම ප්‍රේක්ශකයින්ගේ රසවින්දනය වෙනුවෙන් සිදු කරන්නක් බව ඔහු සඳහන් කළත් දැන් එය ඔහුගේ නිත්‍ය සලකුණක් බවට පත් වී හමාරයි.

2020 ඔලිම්පික් උළෙලේ දී කටාර් දේශයේ Mutaz Essa Barshim සමඟ ඔලිම්පික් රන් පදක්කම බෙදා ගැනීමත් සමඟ Tamberi පිළිබඳ ව ලොව පුරාවට වැඩි අවධානයක් යොමු වූ අතර, මේ වන විට ඔහු වත්මන් ඔලිම්පික්, ලෝක සහ යුරෝපා උස පැනීමේ ශූරයා ලෙස තම ක්‍රීඩා දිවියේ හිණිපෙත්තේ ම රැඳී ඉන්නවා.

සෑම තරග ඉසව්වක දී ම ක්‍රීඩා රසිකයින්ට උපරිම ආශ්වාදයක් ලබා දීමට පෙලඹෙන Tamberi මෙවරත් එවැනිම යමක් සිදුකරතැයි අනුමාන කරන්නත් පුළුවන්.

Carissa Moore

Carissa කියන්නේ සර්ෆ් ක්‍රීඩාවෙන් පස්වරක් ලෝක ශූරතාව ජයග්‍රහණය කරන්න සමත් වුන ක්‍රීඩිකාවක්. නමුත් ඇයගේ විශ්වාසය රැඳිලා තියෙන්නේ මේස් කූට්ටමක් මත බව ඔබට විශ්වාස කරන්න පුළුවන් ද?

සර්ෆ් ක්‍රීඩාවේ දී මේස් යුගල පලඳින්න බැරි නිසා ඇය ඒවා ඇයගේ පෙම්වතාට (පසු කාලීන ව ස්වාමිපුරුෂයාට) පලඳවලා තියෙනවා.

මම තරග කරද්දී, මගේ පෙම්වතාට මගේ වාසනාවන්ත මේස් ජෝඩුව පලඳින්න සිදු වෙනවා. ඒක හරිම විහිළුයි. මේ අවුරුද්දේ මේ දක්වා මම පරාජය වුන සෑම Heat එකක දීම එයා ඒක (මේස් කූට්ටම) පැලඳගෙන හිටියේ නැහැ. ඒ නිසා මම පරාද වෙනවා නම් ඒ ගොඩක් විට එයාගේ වැරදි නිසා තමයි.

ඇය සිනහ මුසුව සිය විශ්වාසයන් ගැන එසේ සඳහන් කරනවා.

මීට අමතරව ඇමරිකානු උස පැනීමේ ක්‍රීඩිකා Vashti Cunningham තමන්ගේ සෑම තරග දිනයකට පෙර රාත්‍රියේ Kill Bill චිත්‍රපටිය නැරඹීමට හුරු වී සිටින අතර, ප්‍රකට බ්‍රසීල වොලිබෝල් ක්‍රීඩක Darlan Souza තමන්ගේ සෑම පන්දු පිරිනැමීමකට පෙර ම ලෝ ප්‍රකට ජපන් ඇනිමේශන් කාටූන් මාලාවක් වන Naruto හි ආභාශය ලත් දෑත් චලනයක නිරත වනවා.

මෙවර ඔලිම්පික් උළෙලේ දී තවත් මෙවැනි ක්‍රීඩක හැසිරීම් රාශියක් ඔබේ නෙත ගැටෙනු ඇති බව විශ්වාස කළ හැකි. එමෙන්ම එම බොහෝ විශ්වාසයන්, හැසිරීම් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික ඒකාග්‍රතාව රැක ගැනීම වෙනුවෙන් සිදු කරන ඒවා නිසාම ඔවුන් බොහෝ විට තම තරග ජයග්‍රහණය කරනා අයුරු ද ඔබට දක්නට ලැබෙනු ඇති.

මෙවර ඔලිම්පික් උළෙලේ දී දක්නට ලැබෙනා එවන් සුවිශේෂී සිදුවීම් පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීමට ThePapare නිරන්තරයෙන් සූදානම්.

රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Olympics නිල වෙබ් අඩවිය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<