ප්‍රවීණයන්ගේ පාපන්දු කුසලානය තෙවන වරටත් ඕල්ඩ් බෙන්ස්ට

340
Old Bens champions

8 වන වරටත් පැවැත්වූ ප්‍රවීණයන්ගේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා (27) වැල්ලවත්තේ දී පැවැත්විය. එහි දී කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම හමුවේ ගෝල 4-0ක ජයක් ලබා ගැනීමට ඕල්ඩ් බෙන්ස් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය.

තිලක් පීරිස් අභියෝගතා කුසලානය සඳහා පැවැත්වූ මෙම පාපන්දු තරගාවලිය සංවිධානය කළේ සොකර් මාස්ටර්ස් සංගමය විසිනි.

ප්‍රවීණයන්ගේ පාපන්දු අවසන් සටන හෙට

හිටපු දක්ෂ පාපන්දු කණ්ඩායම් දෙකක් වන ඕල්ඩ් බෙන්ස් ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම…

කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම තරගයේ පළමු අර්ධය තුළ ඉතාමත් අවාසනාවන්ත වූයේ ඔවුන් ගෝල ලබා ගැනීමට වෑයම් කළ අවස්ථා 5ක් පමණ නිසියාකාරව පන්දුව දැල තුළට එල්ල කර ගැනීමට අපොහොසත් වීම නිසාවෙනි. ඒ අතින් බැලූ විට ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඕල්ඩ් බෙන්ස් ප්‍රවීණයන්ගේ කණ්ඩායම එහි සම්පූර්ණ වාසිය ලබාගෙන මිනිත්තු 5ක කාලයක් තුළ ගෝල දෙකක් ලබා ගන්නා ලදි. එම ගෝල දෙකම ඒ. බී. නාතර්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

එම ගෝල දෙක අතුරෙන් පළමු ගෝලය තරගයේ 32 වන මිනිත්තුවේ දී නාතර් විසින් වාර්තා කළේ රොශාන් රාමිස්ගේ ද සහය ඇතිවය. ඉන් මිනිත්තු කිහිපයකට පසුව නාතර් හා එක්වූ සිසිර පෙරේරා ඔවුන්ගේ කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කළේ පළමු අර්ධයේ වැඩි වාසිය සිය කණ්ඩායමට ලබා දෙමිනි.

දෙවන අර්ධයේ ප්‍රථම මිනිත්තු කිහිපය තුළ දෙපිළම හොඳින් ක්‍රීඩා කළ අතර කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ එල්ල කළ තවත් පහර කිහිපයක්ම සාර්ථකව මැඩලීමට ඕල්ඩ් බෙන්ස් කණ්ඩායමේ නායකයා මෙන්ම ගෝල රකින්නා වන ටී. ජොන්සන් සමත් විය.

කෙසේ වෙතත් තරගයේ 54 වන මිනිත්තුවේ දී එස්. බාලේන්ද්‍රන් හා නිශාන්ත ප්‍රනාන්දු සුසංයෝගයේ එකතුවෙන් ඔවුන්ගේ තෙවන ගෝලය ලබා ගැනීමට හැකි විය. සිව්වැනි ගෝලය ලබා ගත්තේ සම්පත් පෙරේරා විසිනි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා දක්ෂතම ගෝල රකින්නාට හිමි රත්‍රං පාපන්දු බූට් සපත්තුව (Golden Boot) ඕල්ඩ් බෙන්ස් කණ්ඩායමේ ඒ. බී. නාතන් විසින් දිනා ගන්නා විට, තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නාට හිමි රන් අත් ආවරණය ඕල්ඩ් බෙන්ස් නායක ජොන්සන් විසින් දිනා ගත්තේය. ඊට අමතරව ඔවුන් දෙදෙනාටම රුපියල් 10,000ක මුදලක් ද ලැබුණි.

ශූරතාවය ජයග්‍රහණය කළ ඕල්ඩ් බෙන්ස් ප්‍රවීණයන්ගේ කණ්ඩායමට රුපියල් 100,000කට අමතරව රන් පදක්කම් හා සහතික පත්‍ර ලැබුණි. එහි අනුශුරතාවය දිනා ගත් කෑගල්ල කණ්ඩායමට අනුශුරතා කුසලානයත්, රිදී පදක්කම්, සහතික පත්‍ර හා මුදලින් රුපියල් 50,000ක් ප්‍රදානය කෙරිණි.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස ක්‍රීඩා කළ වර්තමානයේ ජුපීටර් ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන බර්නාඩ් සිල්වා මහතා පැමිණියේය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<