මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි!

663

ලොව බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවෙන 800 චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරයක පටය ඊයේ (05) දිනයේ එළිදක්වනු ලැබුවා. 

හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sachin Tendulkar, තුන් ඉරියව්වේ ශ්‍රී ලංකා විශිෂ්ටයා සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් විසින් ඉන්දියාවේ මුම්බායි හිදි සහභාගී වූ වැඩසටහනක් අතරතුර මෙම නිල පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබුණා. 

“ඔවුන් (සනත් සහ Sachin) පැමිණීම සහ මෙය මා වෙනුවෙන් එළිදැක්වීම ගැන මට ගොඩක් ආඩම්බරයි. ඒ වගේම මේ ව්‍යාපෘතිය පසුගිය වසර 5 තිස්සේ ම ක්‍රියාත්මක කෙරුණා, දැන් එය සැබෑවක් වෙලා තියෙන බව මට හැඟෙනවා. මිනිස්සු මේ චිත්‍රපටිය රසවිඳීවී කියලා බලාපොරොත්තු වෙනවා.” 

මුරලිදරන් විසින් සිය ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටය පිළිබඳ එසේ සඳහන් කර තිබුණා. 

Sachin සහ සනත් සහභාගීත්වයෙන් මෙම පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමෙන් පසුව ප්‍රසිද්ධ ඉන්දීය චිත්‍රපට විචාරකයෙකු ලෙස සැලකෙන Taran Adarsh විසින් එය Twitter (X) වෙත මුදා හැර තිබුණා. 

එමෙන්ම මෙම සිනමාපටය මෙම වසරේ ඔක්තෝබර් 06 වැනිදා සිට තිරගත වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන් පිළිබඳ නිර්මාණය වූ 800 සිනමාපටය මෙවර එක්දින ලෝක කුසලානය හා සමගාමීව ම නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලී ඔබට හිමි වනු ඇති. 

පූර්ව ප්‍රචාරක පටය අනුව මුරලිදරන් විසින් සිය ළමා වියේ පටන් සිය ක්‍රීඩා දිවියේ හිණිපෙත්තට ම ගමන් කරනා අයුරු සිනමාපටයෙන් දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති. 

මීට පෙර සුපිරි දමිළ නළු Vijay Sethupathi විසින් පණ පෙවීමට නියමිත ව තිබූ මුරලිගේ චරිතය පසුව ඇති වූ යම් බාධා තත්ව නිසා තවත් දමිළ රංගන ශිල්පියෙකු වන Madhur Mittal හට හිමි වුනා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ MS Sripathy විසිනුයි. 

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට ලබා දුන් විශිෂ්ටතම දායාදයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම විශිෂ්ට දඟපන්දු යවන්නා වෙනුවෙන් ඉන්දීය සිනමාවෙන් කෙතරම් සාධාරණයක් ඉටු වී ඇති ද යන්න තවත් මසක පමණ කාලයකින් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<