කවීෂා දිල්හාරි තෙවැනි අර්ධ ශතකයත් ලබා ගනී

NSL Women's T20 Tournament 2024

142
NSL Women's T20 Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (19) කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී Kandy Women කණ්ඩායමේ නායිකා කවීෂා දිල්හාරි මෙම තරගාවලියේ පිට පිට ලබා ගත් තෙවැනි අර්ධ ශතකයත් වාර්තා කිරිමට සමත් වූවා.

ඇය මීට පෙර Colombo Women කණ්ඩායමට (68)ක් සහ Galle Women කණ්ඩායමට (58) එරෙහිව ද අර්ධ ශතකයක වාර්තා කළා.

මේ අතර අද නිමා වූ තරගත් සමඟින් හෙට (20) පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා Dambulla Women සහ Colombo Women කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් මේ සඳහා සුදුසුකම් ලබා ගන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයට පත්වීමත් සමඟිනුයි.

නිමා වූ Women’s National Super League ක්‍රිකට් තරගාවලියේ ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ මෙම කණ්ඩායම් 2යි.

Dambulla Women සහ Kandy Women

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Dambulla Women

කාසියේ වාසිය දිනා ගත් Dambulla Women කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Women කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 127ක් ලබා ගත්තා.

ඒ වෙනුවෙන් නායිකාව වූ කවීෂා දිල්හාර පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. ඊට අමතර ව සුමුදු නිසංසලා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා විසින් 4 වැනි කඩුල්ල සඳහා පන්දු 52ක දී ලකුණු 58ක සබඳතාවක් ගොඩ නැගුවා.

පන්දු යැවීමේ දී මල්ෂා ෂෙහානි ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත් අතර නිමේෂා මධුශානි සහ රශ්මිකා සෙව්වන්දි කඩුල්ල බැගින් දවා ගත්තා.

හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Dambulla Women කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරන්නේ තවත් පන්දු 10ක් ඉතිරිව තිබියදීයි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී ඉමල්කා මෙන්ඩිස් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා. ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකාරිනී නායිකා, හර්ෂිතා සමරවික්‍රම පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වූවා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව මනුදි නානායක්කාර පන්දු 12ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් සහ කෞෂිනි නුත්‍යාංගා පන්දු 12ක දී හතරේ පහර 2ක් සමඟන් ලකුණු 17ක් ලබා ගත්තා.

Dambulla Women කණ්ඩායමේ දැවී ගිය අවසන් කඩුලු 5 ලකුණු 8ක් තුළ දවා ගැනීට Kandy Women කණ්ඩායම සමත් වූව ද 10 වැනි ස්ථානයෙන් පිටියට පිවිසි චමරි ලක්ෂානි තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත් අතර ඉනෝකා රණවීර ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව කවීෂා දිල්හාර කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරු

Kandy Women – කඩුලු 8ක් දැවී 127 (20.0) කවීෂා දිල්හාරි 52, සුමුදු නිසන්සලා 23, මල්ෂා ෂෙහානි 3/20

Dambulla Women කඩුලු 8ක් දැවී 127 (20.0) හර්ෂිතා සමරවික්‍රම 29, ඉමල්කා මෙන්ඩිස් 43, මනුදි නානායක්කාර 19, අචිනි කුලසූරිය 2/14, ඉනෝකා රණවීර 2/25

Dambulla Women කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Galle Women සහ Colombo Women

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Galle Women

කාසියේ වාසිය දිනා ගත් Galle Women කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද ඔවුන්ට සිතු ලෙසින් පිටියේ රඟන්නට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිම ලකුණු 91කට සීමා වූවා.

එම ඉනිම වෙනුවෙන් නායිකා ඔෂඳී රණසිංහ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතර ව නිලක්ෂි ද සිල්වා ලකුණු 15ක් ද සහ සුරංගිකා පෙරේරා ලකුණු 14ක් බැගින් ද ලබා ගත්තා.

අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට යෑමට ප්‍රතිවාදී Colombo Women ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ. එහි දී තාරිකා සෙව්වන්දි, ඉනෝෂි ප්‍රනාන්දු, විදුශිකා පෙරේරා සහ සචිනි නිසංසලා කඩුලු 2ක් බැගින් බෙදා ගනිද්දී තරුෂි තත්සරණි කඩුල්ලක් හිමි වූවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Colombo Women කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 92ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කරා ගියා. ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දුවාර 15ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරනී ප්‍රසාදනී වීරක්කොඩි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායිකා හසිනි පෙරේරා පන්දු 23ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව දෙවැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 59ක් ලබා ගැනීමත් සමඟින් තරගයේ පාලනය ඔවුන් වෙත නතු වූවා.

නමුත් ඊට පසුව ලකුණු 7ක් තුළ කඩුලු 4ක් දවා ගනිමින් තරගයට අවතීර්ණ වීමට Galle Women කණ්ඩායම උත්සාහ දැරුව ද ඔවුන් ලබා ගත් අඩු ලකුණු ප්‍රමාණයක් හමුවේ එම සිහිනය බොඳ වුණා.

කඩුලු දවා ගැනීමේ දී තාරුකා ෂෙහානි ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත් අතර දෙව්මි විජේරත්න සහ ඔෂදී රණසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle Women – සියලුම දෙනා දැවී 91 (20.0) ඔෂදී රණසිංහ 34, තාරිකා සෙව්වන්දි 2/21, ඉනෝෂි ප්‍රනාන්දු 2/19, විදුශිකා පෙරේරා 2/14, සචිනි නිසංසලා 2/16

Colombo Women – කඩුලු 6ක් දැවී 92 (15.0) ප්‍රසාදනී වීරක්කොඩි 36, හසිනි පෙරේරා 25, තාරුකා ෂෙහානි 2/18

Colombo Women කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<