කවීෂා දිල්හාරි දෙවැනි අර්ධ ශතකයත් ලබා ගනී

NSL Women's T20 Tournament 2024

160
NSL Women's T20 Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරගවල දී Colombo Women කණ්ඩායම සහ Kandy Women කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවා.

මේ අතර අද පැවැති තරගවල දී Kandy Women කණ්ඩායමේ කවීෂා දිල්හාරි අර්ධ ශතකයක් වාර්තා කළ අතර මේ ඇය මෙම තරගාවලියේ පිට පිට ලබා ගන්නා ලද දෙවැනි අර්ධ ශතකයයි.

මේ අතර අද පැවැති අනෙක් තරගයේ දී Colombo Women කණ්ඩායමේ හසිනි පෙරේරා ද අර්ධ ශතකයක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Galle Women කණ්ඩායමේ ඕෂදී රණසිංහ කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දක්ෂතා දැක් වූවා.

Dambulla Women සහ Colombo Women

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Colombo Women

කාසියේ වාසිය දිනා ගත් Colombo Women නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Women කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 121ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Colombo Women කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 124ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Women වෙනුවෙන් කෞෂිනි නුත්‍යාංගා පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඇය මෙම ඉනිම ක්‍රීඩා කළේ ඉදිරි පෙළ කඩුලු 5ක් ලකුණු 53කට දැවී යමින් තිබියදීයි.

ඇය 7 වැනි කඩුල්ලට දැවී යන විට එම කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක දී ලකුණු 47ක් එක් කිරිමට ද සමත් වූවා. එහි දී මල්ෂා ෂෙහානි ඇයට සහාය වූවා. ඉනිම අවසන් වන විට මල්ෂා ෂෙහානි පන්දු 18කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී තරුෂි තත්සරණි සහ ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත් අතර සචිනි නිසංසලා සහ තාරිකා සෙව්වන්දි කඩුල්ල බැගින් දවා ගත්තා.

හඹායන ඉනිම සඳහා පිටියට පිවිසි Colombo Women කණ්ඩායම වෙනුවෙන් නායිකා හසිනි පෙරේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. ඇය තෙවැනි කඩුල්ල වෙනුවෙන් පියුමි වත්සලා සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68ක දී ලකුණු 72ක සබඳතාවක් ද ගොඩ නගමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක් වූවා.

පියුමි වත්සලා පන්දු 34කට මුහුණ දෙමින් ලකුණු 22ක් ලබා ගත් අතර ආරම්භක පිතිකාරිනී නෙත්මි පූර්ණා පන්දු 13ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මල්ෂා ෂෙහානි සහ චමරි ලක්ශානි කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla Women – කඩුලු 7ක් දැවී 121 (20.0) කෞෂිනි නුත්‍යාංගා 37, මල්ෂා ෂෙහානි නොදැවී 27, ඉනෝෂි ප්‍රනාන්දු 2/28, තරුෂි තත්සරණි 2/21

Colombo Women – කඩුලු 4ක් දැවී 124 (19.3) නෙත්මි පූර්ණා 20, හසිනි පෙරේරා 53, පියුමි වත්සලා 22, මල්ෂා ෂෙහානි 2/14, චමරි ලක්ශානි 2/13

Colombo Women කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Galle Women සහ Kandy Women

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Galle Women

කාසියේ වාසිය දිනා ගත් Galle Women කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Women කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle Women කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Women ඉනිම වෙනුවෙන් නායිකා කවීෂා දිල්හාරි පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. එය ඇය මෙවර තරගාවලියේ පිට පිට ලබා ගත් දෙවැනි අර්ධ ශතකයයි.

ඇයගේ එම ඉනිමට අමතර ව රශ්මි නේත්‍රාංජලී පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා. ඊට අමතර ව එම ඉනිමේ විහාරා සෙව්වන්දි ලබා ගත් ලකුණු 11ක් ද ඇතුලත් අතර අනෙක් ක්‍රීඩිකාවෝ කිසිවෙක්ට ඉලක්කම් 2 ලකුණු ලබා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී ඔෂදී රණසිංහ ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තාරුකා ෂෙහානි කඩුලු 2ක් ද සහ දෙව්මි විජේරත්න සහ චේතනා විමුක්ති කඩුල්ල බැගින් ද ලබා ගත්තා.

Galle Women ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ අමාධි විජේසිංහ. ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා. ඊට අමතර ව නිලක්ෂි ද සිල්වා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් සහ දෙව්මි විජේරත්න පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී රශ්මි සිල්වා ලකුණු 07කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අචිනි කුලසූරිය ලකුණු 16කට කඩුලු 2ක් සහ කවීෂා දිල්හාරි ද ලකුණු 30කට කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

ඊට අමතර ව විහාරා සෙව්වන්දි සහ අමා කාංචනා ද කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy Women – කඩුලු 9ක් දැවී 114 (20.0) කවීෂා දිල්හාරි 58, රශ්මි නේත්‍රාංජලී 21, ඔෂදී රණසිංහ 4/18, තාරුකා ශෙහානි 2/18

Galle Women – සියලුම දෙනා දැවී 108 (19.2) දෙව්මි විජේරත්න 22, අමාධි විජේසිංහ 28, නිලක්ෂි ද සිල්වා 23, අචිනි කුලසූරිය 2/16, කවීෂා දිල්හාරි 2/30, රශ්මි සිල්වා 2/07

Kandy Women කණ්ඩායමට ලකුණු 6ක ජයක්.

තරගාවලියේ පළමු වටයේ අවසන් තරග ද්විත්වය පෙබරවාරි 19 වැනිදා  Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එහි දී Galle Women සහ Colombo Women කණ්ඩායම් පෙරවරුවේත් Dambulla Women සහ Kandy Women කණ්ඩායම් අතර තරගය පස්වරුවේත් පැවැත්විමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<