ගාලු – දඹුලු NSL අරගලය

National Super League 4 day Tournament 2025

8
Trophy Launch

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (27) සිට 30 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය සඳහා රමේෂ් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සහ ධනංජය ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම කණ්ඩායම් අතුරින් ගාල්ල කණ්ඩායම මීට පෙර වසර ද්විත්වයේ ම අවසන් මහා තරග නියෝජනය කර ඇති අතර ඒ අතුරින් නිමා වූ 2024 වසරේ දී මහනුවර කණ්ඩායමට එරෙහි ව කඩුලු 7ක් ලබා ගනිමින් ශූරයන් බවට පත් වීමට ද සමත් වෙනවා.

මෙම කණ්ඩායම් ද්විත්වය ම මීට පෙර 2023 වසරේ දී ද අවසන් මහා තරගය සඳහා එකිනෙකා එක් වෙනවා. එම තරගයේ දී ගාල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 75ක ජයග්‍රහණයක් ලබා ගන්නා දඹුලු ක්‍රීඩකයෝ එවර ශූරයන් බවට පත් වෙන අතර ගාල්ල කණ්ඩායමට අනුශූරතාව ලබා ගනිමින් සෑහීමකට පත් වීමට සිදුවෙනවා.

ගාල්ල කණ්ඩායම

ගාල්ල කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා එක් වෙන්නේ පිට පිට තෙවැනි වතාවටයි. එමෙන් ම ඔවුන් මෙම තරගාවලියේ මෙවර අවසන් මහා තරගය සඳහා එක් වෙන්නේ ආසන්නත ම ජයග්‍රාහකයන් ලෙසින් ද වන අතර සහ පළමු වටයේ දඹුල්ල කණ්ඩායම සමඟ පැවැති තරගයේ ජයග්‍රාහකයන් ලෙසින් ලත් අභිමානයෙන් ද යුක්තවයි.

ගාල්ල කණ්ඩායමේ මෙවර ගමන් මඟ

  ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය තරගයේ ප්‍රතිඵලය
1 මහනුවර සූරියවැව තරගයේ විසඳුමක් නෑ.
2 දඹුල්ල ගාල්ල ගාල්ල කණ්ඩායමට ලකුණු 145ක ජයක්.
3 යාපනය සූරියවැව තරගයේ විසඳුමක් නෑ.
4 කොළඹ දඹුල්ල තරගයේ විසඳුමක් නෑ.

මෙවර ගාල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන රමේෂ් මෙන්ඩිස් වෙතයි. කණ්ඩායමේ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් ව සිටින ඔහු මෙවර තරගාවලියේ තරග 4කට සහභාගී වෙමින් ඉනිම 6ක දී ලකුණු 374ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 74.80ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට ඔහු සමත් වෙන අතර ඊට මහනුවර කණ්ඩායමට සහ යාපනය කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ශතක ද්විත්වයක් ද ඇතුලත්.

රමේෂ් මෙන්ඩිස් විසින් ලබා ගන්නා ලද එම ලකුණු සංඛ්‍යාව ගාල්ල කණ්ඩායමේ පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන අතර එය මෙවර තරගාවලියේ මෙතෙක් පිතිකරුවන් විසින් රැස් කරන ලද ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාවය ද වෙනවා.

එමෙන් ම ගාලු කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර නිපුන් ධනංජය සහ දිනේෂ් චන්දිමාල්ට ද ඉදිරි පෙළ අසුන් හිමි ව තිබෙනවා. නිපුන් ධනංජය මහනුවර කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ශතකයක් ද සමඟින් තරග 4ක ඉනිම් 7ක දී ලකුණු 336ක් ලබා ගන්නා ලද අතර දිනේෂ් චන්දිමාල් තරග 4ක ඉනිම් 6ක දී ලකුණු 310ක් ලබා ගන්නවා. ඔහු කොළඹ කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ශතකයක් ද ඊට ඇතුලත්.

ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා බවට පත් ව සිටින්නේ දුනිත් වෙල්ලාලගේ. ඔහු සහභාගී වූ තරග 4 දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 14ක්. ඊට අමතර ව දිලුම් සුදීර කඩුලු 12ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම වෙන්නේ ද ගාල්ල කණ්ඩායමයි. ඔවුන් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මහනුවර කණ්ඩායමට එරෙහි ව කඩුලු 9කට ලකුණු 602ක් ලබා ගන්නවා.

ගාල්ල කණ්ඩායම් සංචිතය

රමේෂ් මෙන්ඩිස් (නායක), ඕෂද ප්‍රනාන්දු, තුලින ඩිල්ශාන්, දිනේෂ් චන්දිමාල්, නිපුන් ධනංජය, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සංතුශ් ගුණතිලක, නිසල තාරක, දිලුම් සුදීර සහ නිම්සර අතරගල්ල, ඩිල්ශාන් මදුශංක, ක්‍රිශාන් සංජුල, උදිත් මදුශාන්, සදීර සමරවික්‍රම, පසිඳු සූරියබණ්ඩාර, මිලාන් රත්නායක,

 දඹුල්ල කණ්ඩායම

2023 වසරේ ශූරයන් වූ දඹුලු ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා එක්වෙන 2 වැනි අවස්ථාවයි මේ. මෙවර තරගාවලියේ පළමු වටයේ දී ප්‍රතිවාදී ගාලු කණ්ඩායම වෙතින් ලත් පරාජය හේතුවෙන් ඔවුන්ට මෙම තරගයට එක් වීමට සිදු වෙන්නේ නව සැලසුම් ද සකස්කර ගනිමිනුයි.

දඹුලු කණ්ඩායමේ මෙවර ගමන් මඟ

  ප්‍රතිවාදීන් ක්‍රීඩාංගණය තරගයේ ප්‍රතිඵලය
1 ගාල්ල ගාල්ල ගාල්ල කණ්ඩායමට ලකුණු 145ක ජයක්.
2 කොළඹ දඹුල්ල දඹුල්ල කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
3 මහනුවර ආර්. ප්‍රේමදාස දඹුල්ල කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
4 යාපනය පල්ලෙකැලේ තරගයේ විසඳුමක් නෑ.

මෙවර දඹුල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වෙතයි. ඔහු නිමා වූ පළමු වටයේ තරග 4ක ඉනිම් 7ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 361ක්. එය දඹුලු කණ්ඩායමේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඔහුගේ එම ඉනිම් අතර ගාල්ල, කොළඹ සහ මහනුවර කණ්ඩායම්වලට එරෙහි ව ලබා ගන්නා ලද ශතක ත්‍රිත්වයක් ද ඇතුලත්.

ඔහුට අමතර ව දඹුලු කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර නිශාන් මදුශ්ක සහ විශාද් රන්දික ද සිටිනවා.

නිශාන් මදුශ්ක මහනුවර කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ශතකයක් ද සමඟ තරග 4ක ඉනිම් 7ක දී ලබා ගන්නා ලකුණු 240ක් ලබා ගන්නා ලද අතර විශාද් රන්දික යාපනය කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ශතකයක් ද සමඟින් තරග 4ක ඉනිම් 6ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 217ක්.

ඊට අමතර ව රොන් චන්ද්‍රගුප්ත, දසුන් ශානක සහ පවන් රත්නායක ද මෙම කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ.

පන්දු යවන්නන් අතුරින් දඹුලු කණ්ඩායමේ අංක එකේ ක්‍රීඩකයා වෙන්නේ, අකිල ධනංජය. ඔහු තරග 4ක දී කඩුලු 35ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර එය මෙවර තරගාවලියේ පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත් දක්ෂතාවයි.

ඔහුට අමරතර ව දුලාජ් සමුදිත, මොහොමඩ් ශිරාස්, දිනුර කළුපහන, චමිඳු විජේසිංහ සහ ලසිත් ඇඹුල්දෙණිය ද දඹුලු කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.

දඹුල්ල කණ්ඩායම් සංචිතය

ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, රොන් චන්ද්‍රගුප්ත, දිනුර කළුපහන, සහන් කෝසල, සම්මු අශාන්, විශාද් රන්දික, චමිඳු විජේසිංහ, ඉනුක කරන්නාගොඩ, අකිල ධනංජය සහ දුලාජ් සමුදිත, සොනාල් දිනූෂ, දුවිඳු තිලකරත්න, දසුන් ශානක, පවන් රත්නායක, ලසිත් කෲස්පුල්ලේ, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස් සහ අසිත ප්‍රනාන්දු.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<