ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (27) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර තරගය පළමු දිනයට නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ගාල්ල කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 210ක් ලබා සිටියා.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගයේ පළමු කාර්තුව අහිමි ව ගිය අතර අනතුරුව උරගා බැලුණ කාසියේ වාසිය දඹුලු නායකයා සතු වුනා. ඒ අනුව ඔවුන් පන්දු රැකීම තෝරා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ගාල්ල කණ්ඩායම සතු කළා.
ගාල්ල කණ්ඩායම
රමේෂ් මෙන්ඩිස් (නායක), ඕෂද ප්‍රනාන්දු, තුලින ඩිල්ශාන්, දිනේෂ් චන්දිමාල්, නිපුන් ධනංජය, අවිශ්ක පෙරේරා (කඩුලු රකින්නා), දුනිත් වෙල්ලාලගේ, නිසල තාරක, විජයකාන්ත් වියස්කාන්ත්, නිම්සර අතරගල්ල සහ සංතුශ් ගුණතිලක.
දඹුල්ල කණ්ඩායම
ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, රොන් චන්ද්‍රගුප්ත, දිනුර කළුපහන, සම්මු අශාන්, විශාද් රන්දික (කඩුලු රකින්නා), චමිඳු විජේසිංහ, ඉනුක කරන්නාගොඩ, අකිල ධනංජය, විශ්ව ප්‍රනාන්දු සහ මොහොමඩ් ශිරාස්.
ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. පළමු කඩුල්ල ලෙසින් තුලින ඩිල්ශාන් ලකුණු 5කට දැවී යද්දී ගාලු ලකුණු පුවරුව දැක් වුනේ ලකුණු 22ක් ලෙසයි.
නමුත් එතැන් සිට ගාලු ඉනිම ගොඩ ගැනීමට ඔෂද ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 114ක් එක් කරද්දී ඔෂද ප්‍රනාන්දු ආබාධයකට ගොදුරු වෙමින් පිටියෙන් ඉවත් වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටි අතර ගාල්ල ඉනිම ලකුණු 136ක් ව තිබුණා.
- ගාලු – දඹුලු NSL අරගලය
- Major Club විස්සයි විස්ස තරගාවලියට දින නියම කරයි
- නිපුන්, දුනිත් සහ විශාද් දක්ෂතා දක්වයි
- කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු පිළිබඳ නිවේදනයක්
- ශ්‍රී ලංකා A කණ්ඩායම අපරාජිත ව ඉදිරියට
ඔහු පිටියෙන් ඉවත් වීමත් සමඟින් පිටියට එක් වුණේ නිපුන් ධනංජය. ඔහුට ද ඉනිමේ වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි වෙන්නේ නැහැ. ලකුණු 4ක් ලබා තිබිය දී නිපුන් ධනංජය පිටියෙන් ඉවත් වුනා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ගාල්ල කණ්ඩායමට තවත් ලකුණු 25ක් එක් වෙද්දී දිනේෂ් චන්දිමාල් ද 3 වැනි කඩුල්ලට ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා සිටියා.
අනතුරු ව අවිශ්ක පෙරේරා පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගනිමින් ද සහ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට එක් වූ නිසල තාරක ලකුණකට ද ඉනිම හැර යනවා.
තරගය පළමු දිනයට නතර කරන විට දුනිත් වෙල්ලාලගේ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 13කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 3ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටිනවා.
කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය සහ මොහොමඩ් ශිරාස් කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර චමිඳු විජේසිංහ ද කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 210 (56.0) ඔෂද ප්‍රනාන්දු 52, දිනේෂ් චන්දිමාල් 80, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ නොදැවී 27, මොහොමඩ් ශිරාස් 2/63, අකිල ධනංජය 2/53
මෙම තරගය හෙට (28) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<