ඇන්ජලෝ සහ පවන් ගෙන් ද්විත්ව ශතක සබඳතාවක්

SLC National Super League 4 Day Tournament 2024

2452

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ 2 වැනි දිනය (26) නිමා වෙද්දී Team Dambulla කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සහ පවන් රත්නායක Team Colombo කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූවා.  

ඔවුන් දෙදෙනා එම ඉනිමේ සිව් වැනි කඩුල්ලට පන්දු 437ක දී ලකුණු 253ක සබඳතාවක් ගොඩ නැගූ අතර දෙදෙනා ම ශතක ඉනිම් ගොඩ නැගීම ද කැපී පෙණුනා.  

මේ අතර Team Kandy කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ද අර්ධ ශතකයක් ලබා ගනිමින් පිතිකරුවන් අතර කැපී පෙණෙද්දී Team Jaffna කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වූවා.  

Team Dambulla සහ Team Colombo 

  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ 
  • කාසියේ වාසිය – Team Dambulla 

පෙර දින කඩුලු 3ක් දැවී ලකුණු 287ක් ලබා සිටි Team Dambulla ක්‍රීඩකයෝ අද තම ඉනිම ලකුණු 530ක් දක්වා රැගෙන ගියා. එහි දී පෙර දිනයේ නොදැවී ලකුණු 47ක් ලබා ගනිමින් පිටියේ රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් මෙන් ම ලකුණු 31ක් ලබා ගනිමින් පිටියේ රැදී සිටි පවන් රත්නායක අද තම ඉනිම් ශතක ඉනිම් දක්වා වැඩි කර ගත්තා.  

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 275කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 146ක් ලබා ගනිද්දී පවන් රත්නායක පන්දු 220කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තා. 

මෙය ඇන්ජලෝ මැතිව්ස්ගේ 30 වැනි පළමු පෙළ ශතකය වන අතර පවන් රත්නායකගේ පළමු පෙළ සිව් වැනි ශතකයයි.  

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර සහ ලක්ෂිත මනසිංහ කඩුලු 3ක් බැගින් බෙදා ගනිද්දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් ද සහ කසුන් රාජිත කඩුල්ලක් ද කවා ගත්තා.  

දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑමට පිටියට පිවිසි Team Colombo ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 98ක් ලබා සිටියා.  

එහි දී දිමුත් කරුණාරත්න පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ද සහ නායක කුසල් මෙන්ඩිස් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටිනවා.  

දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය විශ්ව ප්‍රනාන්දු සතු වුනා.  

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 530 (153.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් 146, පවන් රත්නායක 130, ඉසිත විජේසුන්දර 3/69, ලක්ෂිත මනසිංහ 3/129, ප්‍රභාත් ජයසූරිය 2/103 

Team Colombo – පළමු ඉනිම කඩුල්ලක් දැවී 98 (19.0) දිමුත් කරුණාරත්න නොදැවී 42, ශෙවෝන් ඩැනියෙල් 23, කුසල් මෙන්ඩිස් නොදැවී 29, විශ්ව ප්‍රනාන්දු 1/23 

Team Kandy සහ Team Jaffna 

  • ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට 
  • කාසියේ වාසිය – Team Kandy 

පෙර දින කඩුලු 7ක් දැවී ලකුණු 309ක් ලබා සිටි Team Jaffna ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 346ක් ලබා ගත්තා. පෙර දින නොදැවී පිටියේ රැඳී සිටි ලහිරු මධුශංක අද ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියා.  

දිනයේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයේ හිමිකාරීත්වය චාමික කරුණාරත්න සතු වුනා. ප්‍රතිවාදීන්ගේ ඉනිම අවසන් වන විට ඔහු ලකුණු 51කට කඩුලු 3ක් දවා සිටියා. ඊට අමතර ව චාමික ගුණසේකර, අශේන් ඩැනියෙල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින් බෙදා ගත්තා.  

ලකුණු 310ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි Team Kandy කණ්ඩායමට තම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ සියලුම දෙනා ම දැවී ලකුණු 187ක් පමණයි.  

එම ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 49ක් තුළ දවා ගනිමින් හොඳ තරගයකට අවතීරණ වීමට Team Jaffna පන්දු යවන්නෝ සමත් වූවා. එසේ වූවත් 5 වැනි සහ 6 වැනි කඩුලුවල දී තරමක බලවත් ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අහන් වික්‍රමසිංහ දායකත්වය දැක් වීම කැපී පෙණුනා.  

ඔහු සිව් වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ආරච්චිගේ (22) සමඟ එක් වෙමින් පන්දු 67ක දී ලකුණු 42ක් ද සහ 5 වැනි කඩුල්ල වෙනුවෙන් චාමික කරුණාරත්න (25) සමඟ එක් වෙමින් පන්දු 62ක දී ලකුණු 46ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වූවා.    

අහන් වික්‍රමසිංහ 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටි අතර එය Team Kandy ඉනිමේ පිතිකරුවෙක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.  

Team Kandy කණ්ඩායම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 51කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවා. ඊට අමතර ව ප්‍රමෝද් මධුශාන් සහ ශෂික දුල්ශාන් කඩුලු 2 බැගින් බෙදා ගත්තා.  

ලකුණු 159ක් අතැතිව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Jaffna ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.  

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 346 (104.2) නිශාන් මදුශ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ලහිරු මධුශංක 67, චාමික ගුණසේකර 2/42, චාමික කරුණාරත්න 3/51, ලසිත් ඇඹුල්දෙණිය 2/103, අශේන් ඩැනියෙල් 2/66 

Team Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (67.1) ලහිරු උදාර 23, සහන් ආරච්චිගේ 22, අහන් වික්‍රමසිංහ 51, චාමික කරුණාරත්න 25, චාමික ගුණසේකර 29, ප්‍රමෝද් මධුශාන් 2/25, ශෂික දුල්ශාන් 2/46, ජෙෆ්රි වැන්ඩර්සේ 4/51 

Team Jaffna – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 6 (3.0) 

මෙම තරග හෙට (27) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<