රවිඳු සහ නිරෝෂන් ද්විත්ව ලකුණු සබඳතාවක් ගොඩනගයි

National Super League 4 day Tournament 2025

46

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ 3 වැනි දිනයේ දී (29) යාපනය කණ්ඩායමේ රවිඳු රසාන්ත සහ නිරෝෂන් දික්වැල්ල ශතක ලබා ගැනීමට සමත් වුනා.  

  • කොළඹ සහ දඹුල්ල අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 300ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 400ක් ලබා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 142ක් ලබා ගත් අතර පවන් රත්නායක පන්දු 255කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සමඟින් ලකුණු 163ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමෝද් මදුශාන් සහ ධනංජය ලක්ෂාන් කඩුලු 4ක් බැගින් දවා ගත් අතර කසුන් රාජිත කඩුලු 2ක් දවා ගත්තා.   

ලකුණු 100ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 221ක් ලබා සිටියා. ඒ අනුව මේ වෙද්දී ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 121ක් ඉදිරියෙන් පසු වෙනවා.  

කොළඹ ඉනිම වෙනුවෙන් 1 වැනි ඉනිමේ දී ද ශතකයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් මේ වන විට නොදැවී ලකුණු 86ක් ලබා සිටිනවා. ඔහුගේ ඉනිමට පන්දු 121ක් වැය ව තිබූ අතර හතරේ පහර 8ක් ඊට ඇතුලත්.  

ඊට අමතර ව කවින් බණ්ඩාර පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා. කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 99කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව මොහොමඩ් ශිරාස් කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (76.2) අසිත වන්නිනායක 38, චරිත් අසලංක 43, කුසල් මෙන්ඩිස් 119, ලහිරු මදුශංක 43, මොහොමඩ් ශිරාස් 2/48, දුලාජ් සමුදිත 2/70, අකිල ධනංජය 3/91
  • දඹුල්ල පළමු ඉනිම සියලුම දෙනා දැවී 400 (96.1) ධනංජය ද සිල්වා 142, පවන් රත්නායක 163, අකිල ධනංජය 20, කසුන් රාජිත 2/97, ප්‍රමෝද් මදුශාන් 4/103, ධනංජය ලක්ෂාන් 4/09
  • කොළඹ – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 221 (61.0) නවෝද් පරණවිතාන 32, අසිත වන්නිනායක 20, ධනංජය ලක්ෂාන් 25, කුසල් මෙන්ඩිස් නොදැවී 86, කවින් බණ්ඩාර 44, මොහොමඩ් ශිරාස් 2/36, අකිල ධනංජය 5/99

මෙම තරගය අද (30) සිව් වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

මහනුවර සහ යාපනය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 332ක් ලබා ගන්නවා.  

ලකුණු 131ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 378ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 247ක් ඉදිරියෙන් පසු වෙනවා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත සහ මැදි පෙළින් පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ශතක ඉනිම් එක් කළා.  

රවිඳු රසාන්ත පන්දු 263කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 135ක් ලබා ගත් අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 1000 කඩඉම පසු කිරීමට සමත් වෙනවා. මෙය රවිඳු රසාන්ත ගේ 3 වැනි ශතකය වන අතර මෙවර තරගාවලියේ වාර්තා කළ 2 වැනි ශතකයයි.  

නිරෝෂන් දික්වැල්ල පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 113ක් ලබා ගත් අතර ඔහු සහ රවිඳු රසාන්ත දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 213කට මුහුණ දෙමින් ලකුණු 209ක සබඳතාවක් ද එම ඉනිමට එක් කළා.  

ඔවුන් දෙදෙනාට අමතර ව ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51කින් යාපනය ඉනිමට සැරසුවා.   

කඩුලු දවා දැනීමේ දී ලහිරු කුමාර ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර, ඊට අමතර ව සහන් ආරච්චිගේ, චමිඳු වික්‍රමසිංහ, ශිරාන් ප්‍රනාන්දු සහ සහන් නානායක්කාර කඩුල්ලක් බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (68.1) රවිඳු රසාන්ත 97, අංජල බණ්ඩාර 28, තරිඳු රත්නායක 21, චමිඳු වික්‍රමසිංහ 5/54, සහන් ආරච්චිගේ 2/20
  • මහනුවරපළමු ඉනිම සියලුම දෙනා දැවී 332 (85.1) ජනිශ්ක පෙරේරා 97, කමිල් මිෂාර 27, සහන් ආරච්චිගේ 45, සෙහොන් ද ලිවේරා 25, චමිඳු වික්‍රමසිංහ 44, ශිරාන් ප්‍රනාන්දු 38, කවිශ්ක අංජුල 3/64, තරිඳු රත්නායක 5/99, ජනිත් ලියනගේ 2/27
  • යාපනය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 378 (90.0) රවිඳු රසාන්ත නොදැවී 135, ශෙවොන් ඩැනියෙල් 23, ඇන්ජලෝ මැතිව්ස් 51, නිරෝෂන් දික්වැල්ල 113, ලහිරු කුමාර 2/29

මෙම තරගය අද (30) සිව් වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<