කුසල්, චමිඳු සහ රවිඳු දක්ෂතා දක්වයි

National Super League 4 day Tournament 2025

76
National Super League 4 day Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතිය අද (27) දඹුල්ලේ දී සහ ගාල්ලේ දී ආරම්භ වුනා.

එම තරගවල දී කොළඹ කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ශතකයක් වාර්තා කරමින් දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වෙද්දී, මහනුවර කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඒ අතර යාපනය කණ්ඩායමේ රවිඳු රසාන්ත අද තම ශතකය ලකුණු 3කින් අහිමි කර ගත්තා.

  • කොළඹ සහ දඹුල්ල අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

දඹුල්ල කණ්ඩායම

 

ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, සොනාල් දිනූෂ, විශාද් රන්දික, දුවිඳු තිලකරත්න, අකිල ධනංජය, මොහොමඩ් ශිරාස් සහ දුලාජ් සමුදිත.

 

කොළඹ කණ්ඩායම

 

චරිත් අසලංක (නායක), නවෝද් පරණවිතාන, අවිශ්ක ප්‍රනාන්දු, අසිත වන්නිනායක, ධනංජය ලක්ෂාන්, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කවින් බණ්ඩාර, ලහිරු මදුශංක, ප්‍රමෝද් මදුශාන්, කසුන් රාජිත සහ නිශෘන් පීරිස්.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් කොළඹ ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා සිටියා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කුසල් මෙන්ඩිස්.

ඔහු පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 119ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 19 වැනි ශතකයයි.

ඔහු 5 වැනි කඩුල්ල වෙනුවෙන් නායක චරිත් අසලංක සමඟ එක් වෙමින් පන්දු 83ක දී ලකුණු 67ක සබඳතාවක් ද සහ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලහිරු මදුශංක සමඟ එක් වෙමින් පන්දු 138ක දී ලකුණු 96ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී චරිත් අසලංක පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ද සහ ලහිරු මදුශංක පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 91කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව මොහොමඩ් ශිරාස් සහ දුලාජ් සමුදිත කඩුලු ද්විත්වය බැගින් ද දුවිඳු තිලකරත්න සහ සොනාල් දිනූෂ කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 300 (76.0) අසිත වන්නිනායක 38, චරිත් අසලංක 43, කුසල් මෙන්ඩිස් 119, ලහිරු මදුශංක 43, මොහොමඩ් ශිරාස් 2/48, දුලාජ් සමුදිත 2/70, අකිල ධනංජය 3/91

මෙම තරගය හෙට (28) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

  • මහනුවර සහ යාපනය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මහනුවර කණ්ඩායම

 

සහන් ආරච්චිගේ (නායක), ජනිශ්ක පෙරේරා, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු, සහන් නානායක්කාර, ශිරාන් ප්‍රනාන්දු සහ ලහිරු කුමාර.

යාපනය කණ්ඩායම

 

ජනිත් ලියනගේ (නායක), රවිඳු රසාන්ත, ශෙවෝන් ඩැනියෙල්, අහන් වික්‍රමසිංහ, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අංජල බණ්ඩාර, කවිශ්ක අංජුල, තරිඳු රත්නායක, ජෙෆ්රි වැන්ඩර්සේ සහ අසංක මනෝජ්.

කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 67ක් ලබා සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත. ඔහු පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තා.

එම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 47කට දැවී ගොස් තිබිය දී අංජල බණ්ඩාර සමඟ එක් වූ රවිඳු රසාන්ත 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 181කට මුහුණ දෙමින් ලකුණු 86ක් ලබා ගත්තා. අංජල බණ්ඩාර පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ඊට එක් කළ ලකුණු සංඛ්‍යාව 28ක්.

කඩුලු දවා ගැනීමේ දී චමිඳු වික්‍රමසිංහ ලකුණු 54කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි. ඔහුට අමතර ව සහන් ආරච්චිගේ කඩුලු 2ක් ද, ලහිරු කුමාර, ශිරාන් ප්‍රනාන්දු සහ සහන් නානායක්කාර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ක්‍රියාත්මක මහනුවර ඉනිම වෙනුවෙන් ජනිශ්ක පෙරේරා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද සහ කමිල් මිෂාර පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද ලබා සිටිමින් පිටියේ රැඳී සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (68.1)රවිඳු රසාන්ත 97, අංජල බණ්ඩාර 28, තරිඳු රත්නායක 21, චමිඳු වික්‍රමසිංහ 5/54, සහන් ආරච්චිගේ 2/20
  • මහනුවර – පළමු ඉනිම කඩුල්ලක් දැවී 67 (17.0)ජනිශ්ක පෙරේරා නොදැවී 28, කමිල් මිෂාර නොදැවී 22

මෙම තරගය හෙට (28) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<