ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සතියේ තරග අවසන් කරමින් අද (23) පැවැති තරගවල දී නිපුන් ධනංජය සහ දුනිත් වෙල්ලාලගේ තම පළමු පෙළ තරග දිවියේ සුවිශේෂී කඩඉම්වලට පිවිසි අතර විශාද් රන්දික ශතකයක් වාර්තා කළා.
මෙම තරග අවසානයත් සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග ද අවසන් වන අතර මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් හිමිකර ගන්නවා. ඔවුන් අතර පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 27 වැනි ඉරිදා සිට 30 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
- ගාල්ල සහ කොළඹ අතර තරගය කොළඹ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 435ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 422ක් ලබා ගත්තා.
ඒ අනුව පළමු ඉනිමේ ජයග්‍රහණයත් සමඟින් ලකුණු 13ක් ඉදිරියෙන් සිටි ගාල්ල ක්‍රීඩකයෝ නැවත පිටියට පිවිසෙමින් තරගය නතර කරන විට තම 2 වැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 118ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් නිපුන් ධනංජය පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තා. ඒ සමඟින් ඔහු තරග 52ක් වන පළමු පෙළ තරග දිවියේ ලකුණු 3000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වුනා.
ඉනිම අවසන් වන සංතුශ් ගුණතිලක පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත් අතර ප්‍රමෝද් මදුශාන්ට කඩුල්ලක් හිමි වුනා.
කොළඹ ක්‍රීඩකයෝ අද තරගය ආරම්භ කරන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 341ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් සිටි චරිත් අසලංක සහ ප්‍රභාත් ජයසූරිය පිටියේ රැඳී සිටියා.
දිනයේ පළමු කඩුල්ල ලෙසින් ප්‍රභාත් ජයසූරිය ලකුණු 3කට දැවී ගිය අතර චරිත් අසලංක ලකුණු 151කට දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 206කට මුහුණ දී සිටි අතර හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් ව තිබුණා.
අගනුවර ඉනිමේ පසු පෙළින් පිටියට පිවිසි ප්‍රමෝද් මදුශාන් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා. ඔහු නිශාන් පීරිස් සමඟ එක් වෙමින් 9 වැනි කඩුල්ලට පන්දු 103ක දී ලකුණු 57ක් එක් කළා.
නිශාන් පීරිස් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 81කට කඩුලු 4ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුනා. ඒ සමඟින් ඔහු තම 33 වැනි පළමු පෙළ තරගයේ දී පළමු පෙළ කඩුලු 100 වාර්තා කිරීමට සමත් වෙනවා.
ඔහුට අමතර ව නිසල තාරක සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර සංතුශ් ගුණතිලක සහ නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 435 (136.2) දිනේෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් 72, නිසල තාරක 76, දිලුම් සුදීර නොදැවී 66, ධනංජය ලක්ෂාන් 5/99
කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 422 (123.3) අවිශ්ක ප්‍රනාන්දු 53, ධනංජය ලක්ෂාන් 60, චරිත් අසලංක 151, කවින් බණ්ඩාර 40, ප්‍රමෝද් මදුශාන් 45, නිශාන් පීරිස් 25, නිසල තාරක 2/79, රමේෂ් මෙන්ඩිස් 2/115, දුනිත් වෙල්ලාලගේ 4/81
ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 118 (36.0) නිපුන් ධනංජය නොදැවී 73, සංතුශ් ගුණතිලක නොදැවී 28, ප්‍රභාත් ජයසූරිය 2/61
- චරිත් පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි
- තුන්කොන් එක්දින තරගාවලියේ ප්‍රතිවාදීන්
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- ACC සභාපති ධුරය ශම්මි සිල්වාට හිමි වෙයි!
- දඹුල්ලට කඩුලු 4ක් ජයක්
දඹුල්ල සහ යාපනය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 470ක් ලබා සිටියා. ඒ අනුව මෙම තරගය නොවිසඳුණ තරගයක් ලෙසින් අවසන් වූ අතර තරගයේ පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු දඹුලු කණ්ඩායම සතු වුනා.
අද ඔවුන් තම ඉනිම ආරම්භ කරන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 264ක් ලබා සිටිමිනුයි. පෙර දිනයේ නොදැවී ලකුණු 42ක් ලබා සිටි විශාද් රන්දික අද තම ඉනිම අවසන් කරද්දී පන්දු 331කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 122ක් ලබා සිටියා.
එම ශතකය ඔහුගේ 79ක් වන පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකයයි. ඔහුත් සමඟින් පෙර දින සිට නොදැවී පිටියේ රැදී සිටි චමිඳු විජේසිංහ පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා විසින් 7 වැනි කඩුල්ලට පන්දු 335කට මුහුණ දෙමින් ලකුණු 143ක සබඳතාවක් ද එක් කළා.
ඔවුන්ට අමතර ව ඉනුක කරන්නාගොඩ පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර, නිමේෂ් විමුක්ති සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර අසංක මනෝජ් සහ තනුක දාබරේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 418 (107.0) රවිඳු රසාන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, දුලාජ් සමුදිත 3/88, අකිල ධනංජය 3/164
දඹුල්ල – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 470 (163.0) නිශාන් මධුශ්ක 24, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහන 55, සම්මු අශාන් 71, විශාද් රන්දික 122, චමිඳු විජේසිංහ 72, ඉනුක කරන්නාගොඩ නොදැවී 51, ඉසිත විජේසුන්දර 2/52, නිමේෂ් විමුක්ති 2/111, ජෙෆ්රි වැන්ඩර්සේ 2/121
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<