ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ 3 වැනි දිනය, අද (22) නිමා වූ අතර එහි දී මහනුවර කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු කොළඹ කණ්ඩායමට එරෙහි ව ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර එම කණ්ඩායමේ ම ජනිශ්ක පෙරේරා ශතකය ආසන්නයේ දැවී යන අතර ගාල්ල සහ දඹුල්ල අතර තරගයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 251ක් හඹා ගිය දඹුලු ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් කරන්නේ ලකුණු 27කට කඩුලු 6ක් දැවී යමින් තිබියදීයි.
- කොළඹ සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 460ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයන්ට ලබා ගැනිමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 106ක් පමණයි.
අනතුරු ව ඊයේ දිනයේ දී ලකුණු 354ක් ඉදිරියෙන් සිටිමින් නැවත දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 26ක් ලබා සිටි අතර අද ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 244ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.
ඒ අනුව ලකුණු 598ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 85ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා තවත් ලකුණු 514ක් පිටුපසිනුයි පසුවෙන්නේ.
මහනුවර 2 වැනි ඉනිමේ දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වෙනවා. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකයයි.
ඊට අමතර ව ආරම්භක පිතිකරු ජනිශ්ක පෙරේරා පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු සහ නුවනිඳු ප්‍රනාන්දු අතර 3 වැනි කඩුල්ලට පන්දු 154ක දී ලකුණු 121ක සබඳතාවක් ද එක් කෙරෙනවා.
කොළඹ කණ්ඩායමේ 2 වැනි ඉනිමේ දී මේ වන විට අවිශ්ක ප්‍රනාන්දු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටින අතර ඔහුත් සමඟින් අනෙක් අන්තයේ ලකුණු 17ක් ලබා සිටින ධනංජය ලක්ෂාන් නොදැවී පිටියේ රැඳී සිටිනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 460 (111.2) ජනිශ්ක පෙරේරා 48, කමිල් මිෂාර 172, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, රවිඳු ප්‍රනාන්දු 53, කසුන් රාජිත 3/80, නිශාන් පීරිස් 3/101, දුශාන් හේමන්ත 2/91
- කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 106 (43.0)නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19,ශිරාන් ප්‍රනාන්දු 4/49, චමිඳු වික්‍රමසිංහ 2/08, සහන් නානායක්කාර 3/18
- මහනුවර– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 244 (56.4) ජනිශ්ක පෙරේරා 93, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 100, සහන් ආරච්චිගේ නොදැවී 29
- කොළඹ –දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 85 (35.0) අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 53
මෙම තරගය හෙට (23) සිව් වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
- ධනංජය 25 වැනි පළමු පෙළ ශතකය රැස් කරයි
- කමිල් මිෂාර පිට පිට 2 වැනි ශතකයත් රැස් කරයි
- පාසල් ක්රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
- රමේෂ් මෙන්ඩිස් ශතක සමාජයට
- නිපුන් සහ අවිශ්ක NSL පළමු දිනය වර්ණවත් කරයි
- ගාල්ල සහ දඹුල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 267ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 260ක් පමණයි.
අනතුරු ව පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ අද තම දෙවැනි ඉනිම ලකුණු 244කට සීමා කර ගන්නවා. එහි දී රමේෂ් මෙන්ඩිස් පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ ද පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 80කට කඩුලු 5ක් දවා ගනිමින් නැවත දක්ෂතා දක්වන අතර ඒ සමඟින් ඔහු මෙම තරගයේ දී ලකුණු 164කට කඩුලු 12ක් දවා ගන්නවා.
ජයග්‍රහණය සඳහා ලකුණු 251ක හඹායන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන් අසරණ කිරිමට දුනිත් වෙල්ලාලගේ සහ දිලුම් සුදීර සමත් වුනා. තරගයේ 3 වැනි දිනය අවසන් වන විට දඹුලු කණ්ඩායම ලබා සිටියේ කඩුලු 6කට ලකුණු 27ක් පමණයි.
එහි දී දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 3ක් යවමින් ලකුණු 3කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහු විසින් යවනු ලැබූ පන්දුවාර 3න් 2ක් ම නිලකුණු පන්දුවාර විම ද විශේෂත්වයක්. දිලුම් සුදීර ද ලකුණු 10කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
මෙම ලකුණු පුවරුවත් සමඟින් දඹුලු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 224ක් අවශ්‍ය අතර ගාලු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කඩුලු 4ක් දවා ගැනීම පමණයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (74.0)ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 2/37, අකිල ධනංජය 7/83
- දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (71.5)ධනංජය ද සිල්වා 106, සොනාල් දිනූෂ 39, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 54, ඩිල්ශාන් මදුශංක 3/64, මිලාන් රත්නායක 3/37, දිලුම් සුදීර 2/49
- ගාල්ල –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 244 (64.4)ඕෂද ප්‍රනාන්දු 44, නිපුන් ධනංජය 27, දිනේෂ් චන්දිමාල් 23, දුනිත් වෙල්ලාලගේ 46, රමේෂ් මෙන්ඩිස් 56, ලසිත් ඇඹුල්දෙණිය 3/78, අකිල ධනංජය 5/80
- දඹුල්ල– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 27 (8.2)සහන් කෝසල නොදැවී 5, දිලුම් සුදීර 2/10, දුනිත් වෙල්ලාලගේ 4/03
මෙම තරගය හෙට (23) සිව් වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.