කමිල් මිෂාර පිට පිට 2 වැනි ශතකයත් රැස් කරයි

National Super League 4 day Tournament 2025

57
National Super League 4 day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ පළමු දිනයේ (20) දී කැපී පෙණෙන දක්ෂතා දැක් වීමට කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු සහ අකිල ධනංජය සමත් වුනා.

මේ අතුරින් මහනුවර කණ්ඩායමේ කමිල් මිෂාර මෙවර තරගාවලියේ පිට පිට 2 වැනි ශතකයත් වාර්තා කිරීමට අද සමත් වීම කැපී පෙණුන අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

  • කොළඹ සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

මහනුවර කණ්ඩායම

 

සහන් ආරච්චිගේ (නායක), පැතුම් නිස්සංක, ජනිශ්ක පෙරේරා, කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු, සහන් නානායක්කාර, ශිරාන් ප්‍රනාන්දු සහ මොහොමඩ් ඩිල්ශාඩ්.

කොළඹ කණ්ඩායම

 

චරිත් අසලංක (නායක), අවිශ්ක ප්‍රනාන්දු, නවෝද් පරණවිතාන, ධනංජය ලක්ෂාන්. කවින් බණ්ඩාර, ශෙහාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ලහිරු මදුශංක, දුශාන් හේමන්ත, නිශාන් පීරිස්, කසුන් රාජිත සහ සම්පත් නිශ්ශංක.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 382ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කමිල් මිෂාර. ඔහු පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 172ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකයයි.

පෙර සතියේ ගාල්ල සමඟ පැවැති තරගයේ දී නොදැවී ලකුණු 158ක් ලබා ගත් කමිල් මිෂාර එය තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට පත් කර ගත් අතර සතියක ඇවෑමෙන් එය නැවත අලුත් කිරීමට සමත් වීම ද කැපී පෙණුනා.

ඔහු ජනිශ්ක පෙරේරා සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 153ක දී ලකුණු 107ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා. ජනිශ්ක පෙරේරා පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.

මහනුවර ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ සිව් වැනි කඩුල්ලට කමිල් මිෂාර සහ නායක සහන් ආරච්චිගේ එක් ව පන්දු 212ක දී එක් කරන ලද ලකුණු 128ක සබඳතාවයි. සහන් ආරච්චිගේ පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.

ඊට අමතර ව නුවනිඳු ප්‍රනාන්දු පන්දු 62ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත් අතර දිනය අවසන් වන විට සොහාන් ද ලිවේරා නොදැවී ලකුණු 19ක් ද සහ චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 15ක් ද ලබා සිටියා.

මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම ඉනිමේ දී පන්දු 2කට පමණක් මුහුණ දෙමින් ලකුණු නොලබා ම දැවී ගියා.

කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත කඩුලු 2ක් ද, කසුන් රාජිත සහ නිශාන් පීරිස් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවර – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 382 (90.0) ජනිශ්ක පෙරේරා 48, කමිල් මිෂාර 172, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා නොදැවී 19, දුශාන් හේමන්ත 2/62

මෙම තරගය හෙට (21) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

  • ගාල්ල සහ දඹුල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 267ක් වන අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නිමා වන විට තම පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 38ක් ලබා සිටියා.

දඹුල්ල කණ්ඩායම

 

ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, ලසිත් කෲස්පුල්ලේ, සහන් කෝසල, පවන් රත්නායක, සොනාල් දිනූෂ, විශාද් රන්දික (කඩුලු රකින්නා), අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු.

ගාල්ල කණ්ඩායම

 

පසිඳු සූරියබණ්ඩාර (නායක), ඕෂද ප්‍රනාන්දු, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), දුනිත් වෙල්ලාලගේ, අවිශ්ක පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක, දිලුම් සුදීර සහ ඩිල්ශාන් මදුශංක.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද එය සාර්ථක තීරණයක් බවට පත් වූයේ තරගයේ කාර්තු 2ක් දක්වා පමණයි. ඔවුන්ගේ ලකුණු පුවරුවේ පළමු කඩුලු 4 දැවී යද්දී ලකුණු 207ක් ලෙසින් සටහන් වූව ද ඉතිරි කඩුලු 6 ලකුණු 60ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩකයෝ සමත් වුනා.

එම ඉනිම අසරණ කිරීමේ දී අකිල ධනංජය ලකුණු 83කට කඩුලු 7ක් දවා ගත් අතර ඊට අමතර ව අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් ද සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.

කෙසේ වෙතත් ගාල්ල ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වුනා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 24 වැනි ශතකයයි.

ඔහු සහ දිනේෂ් චන්දිමාල් 2 වැනි කඩුල්ලට පන්දු 214ක දී ලකුණු 154ක් ද එම ඉනිමට එක් කළා. දිනේෂ් චන්දිමාල් පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා.

ඊට අමතර ව අවිශ්ක පෙරේරා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද සහ සදීර සමරවික්‍රම පන්දු 41ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඉඩක් ලැබුණේ නැහැ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 38ක් ලබා සිටියා. එම ඉනිමේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 11ක් ලබා සිටිය දී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවතට ගිය අතර තරගය පළමු දිනයට නතර කරන විට නිශාන් මදුශ්ක නොදැවී ලකුණු 15ක් ද සහ සහන් කෝසල නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (74.0)ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73, අවිශ්ක පෙරේරා 29, අසිත ප්‍රනාන්දු 2/37, අකිල ධනංජය 7/83
  • දඹුල්ල – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 38 (9.0)

මෙම තරගය හෙට (21) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<