කමිල් මිෂාර ද ශතකලාභීන් අතරට

National Super League 4 day Tournament 2025

55
National Super League 4 day Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ 3 වැනි දිනයේ දී (15) කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට මහනුවර කණ්ඩායමේ කමිල් මිෂාර සමත් වෙනවා.

ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහි ව ශතකයක් වාර්තා කරන අතර මෙම තරගාවලියේ මේ වාර්තා වූයේ සිව් වැනි ශතකයයි. මේ අතර පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායමේ නිශාන් පීරිස් යාපනය කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතුරින් ඉහළ ම දක්ෂතා දක්වනවා.

  • ගාල්ල සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 602ක් ලබා සිටිය දී අත් හිටුවමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරනවා. ඒ අනුව පෙර දිනයේ දී පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබා සිටි අතර අද ඔවුන්ගේ පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 350කට සීමා වුනා.

එම ඉනිම වෙනුවෙන් කමිල් මිෂාර පන්දු 255කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී ලකුණු 158ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 5 වැනි ශතකයයි.

ඔහු 3 වැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක්වෙමින් පන්දු 184ක දී ලකුණු 113ක් සහ 5 වැනි කඩුල්ල වෙනුවෙන් සොහාන් ද ලිවේරා සමඟ එක් වෙමින් පන්දු 152ක දී ලකුණු 110ක් ද එක් කරනවා.

එහි දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නා ලද අතර සොහාන් ද ලිවේරා පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී මිලාන් රත්නායක ලකුණු 65කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ සහ ඩිල්ශාන් මදුශංක කඩුලු 2ක් බැගින් ද, රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් ද දවා ගන්නවා.

ලකුණු 252ක් ඉදිරියෙන් සිටිය දී නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වෙද්දී කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට මහනුවර කණ්ඩායමට වඩා ලකුණු 265ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගාල්ල– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 602 (168.0)ඕෂද ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය 137, දිනේෂ් චන්දිමාල් 31, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, දිලුම් සුදීර නොදැවී 80, ඩිල්ශාන් මදුශංක නොදැවී 21, චමිඳු වික්‍රමසිංහ 3/90, රවිඳු ප්‍රනාන්දු 2/121, නුවනිඳු ප්‍රනාන්දු 2/59
  • මහනුවර – පළමු ඉනිම කඩුල්ලක් දැවී 350 (88.0) ලහිරු උදාර 38, කමිල් මිෂාර 158, නුවනිඳු ප්‍රනාන්දු 51, සොහාන් ද ලිවේරා 60, ඩිල්ශාන් මදුශංක 2/72, මිලාන් රත්නායක 4/65, දුනිත් වෙල්ලාලගේ 2/37
  • ගාල්ල– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 13 (3.0)

මෙම තරගය හෙට (16) 4 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 386ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයෝ අද සිය පළමු ඉනිම ලකුණු 246කට සීමා කර ගන්නවා.

ඔවුන් අද දවස ආරම්භ කරන්නේ කඩුලු  7ක් දැවී ලකුණු 227ක් ලබා සිටියමිනුයි. ඒ වෙද්දී අංජල බණ්ඩාර නොදැවී ලකුණු 84ක් ලබා සිටි අතර අද ඔහුගේ ඉනිම ලකුණු 88කට සිමා වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 218කට මුහුණ දී සිටි අතර හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වුනා.

පෙර දිනයේ කඩුලු 3ක් දවා ගෙන සිටි නිශාන් පීරිස් අද තවත් කඩුලු ද්විත්වයක් ලබා ගනිමින් ඉනිමේ දී ලකුණු 59කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව කසුන් රාජිත කඩුලු 2ක් ද, මුදිත ලක්ෂාන් සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ලකුණු 140ක් ඉදිරියෙන් සිටිමින් අද තම 2 වැනි ඉනිම ආරම්භ කළ කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 313ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූවා. එම ඉනිම වෙනුවෙන් ධනංජය ලක්ෂාන්, කවින් බණ්ඩාර සහ දුශාන් හේමන්ත අර්ධ ශතක ඉනිම් එක් කළා.

ධනංජය ලක්ෂාන් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ද, කවින් බණ්ඩාර පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ද සහ දුශාන් හේමන්ත පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මර්වින් අබිනාශ්, ජෙෆ්රි වැන්ඩර්සේ සහ නිමේෂ් විමුක්ති කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

ලකුණු 453ක් පිටු පස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගයේ 3 වැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 73ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද සහ රවිඳු රසාන්ත පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ද ලබා සිටියා.

යාපනය ක්‍රීඩකයෝ මේ වෙද්දී ජයග්‍රහණයට ලකුණු 381ක් පිටු පසින් සිටින අතර මෙතෙක් දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය නිශාන් පීරිස් සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • කොළඹ– පළමු ඉනිම සියලුම දෙනා දැවී 386 (95.0)නවෝද් පරණවිතාන 39, අවිශ්ක ප්‍රනාන්දු 144, ධනංජය ලක්ෂාන් 23, කවින් බණ්ඩාර 77, චරිත් අසලංක 51, දුශාන් හේමන්ත 31, මර්වින් අබිනාශ් 2/93, ජෙෆ්රි වැන්ඩර්සේ 6/86
  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 246 (90.5)ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර 88, චාමික කරුණාරත්න 29, කසුන් රාජිත 2/34, නිශාන් පීරිස් 5/59
  • කොළඹ– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 313 (58.0)අවිශ්ක ප්‍රනාන්දු 41, ධනංජය ලක්ෂාන් 75, කවින් බණ්ඩාර 57, ලහිරු මදුශංක නොදැවී 30, දුශාන් හේමන්ත නොදැවී 58, නිමේෂ් විමුක්ති 2/92, මර්වින් අබිනාශ් 2/63, ජෙෆ්රි වැන්ඩර්සේ 2/85
  • යාපනය– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 73 (20.0)ශෙවෝන් ඩැනියෙල් නොදැවී 32, රවිඳු රසාන්ත නොදැවී 39

මෙම තරගය හෙට (16) 4 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<