රමේෂ් මෙන්ඩිස් ශතක සමාජයට

4

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ දී (14) කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට රමේෂ් මෙන්ඩිස්, දිලුම් සුදීර සහ අංජල බණ්ඩාර සමත් වුනා.  

මේ අතුරින් ගාල්ල කණ්ඩායම නියෝජනය කරන රමේෂ් මෙන්ඩිස් අද මහනුවර කණ්ඩායමට එරෙහි ව ශතකයක් වාර්තා කරන අතර එය අද දවසේ තරගවලට එක් වු එක ම ශතකයයි. ඊට අමතර ව එම කණ්ඩායමේ ම දිලුම් සුදීර තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක් වූ අතර යාපනය කණ්ඩායම නියෝජනය කරන අංජල බණ්ඩාර ද තම කණ්ඩායම ගොඩ නැගීම වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දක්වමින් සිටිනවා.  

  • ගාල්ල සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී. 

තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 336ක් ලබා සිටි ගාලු ක්‍රීඩකයෝ අද ඔවුන්ගේ ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 602ක් ලබා සිටිය දී අත් හිටවූවා. එම ඉනිමේ අද දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ කණ්ඩායමේ උප නායක රමේෂ් මෙන්ඩිස්. ඔහු පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 122ක් ලබා ගත්තා.  

එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 11 වැනි ශතකය වන අතර ඔහු දිලුම් සුදීර සමඟ එක් වෙමින් 9 වැනි කඩුල්ල සඳහා පන්දු 262ක දී ලකුණු 139ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.  

ගාලු ඉනිම අත් හිටුවන විට දිලුම් සුදීර පන්දු පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා සිටි අතර එය ඔහුගේ පළමු පෙළ තරග 43ක ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.  

ඔහුට අමතර ව අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි ඩිල්ශාන් මදුශංක පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 10 වැනි කඩුල්ලට පන්දු 59ක දී නොදැවුණ ලකුණු 51ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.    

පළමු දිනය අවසන් වන විට ලකුණු 135ක් ලබා සිටි නිපුන් ධනංජය ලකුණු 137කට ද සහ  ලකුණු 19ක් ලබා සිටි දුනිත් වෙල්ලාලගේ ලකුණු 38කට ද අද වේලාසනින් ම තම ඉනිම් අහිමි කර ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී  චමිඳු වික්‍රමසිංහ ලකුණු 90කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නුවනිඳූ ප්‍රනාන්දු සහ  රවිඳු ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් ද, චාමික ගුණසේකර සහ මොහොමඩ් ඩිල්ශාඩ් කඩුල්ලක් බැගින් ද දවා ගෙන තිබුණා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබා සිටියා. ඉනිමේ පළමු පන්දුවේ දී ම හතරේ පහරක් එල්ල කළ පැතුම් නිස්සංක, ඊට පසු පන්දුවේ දී දවා ගැනීමට ඩිල්ශාන් මදුශංක සමත් වීම කැපී පෙණුනා.  

ඉනිම ආරම්භ කළ අනෙක් පිතිකරු ලහිරු උදාර නොදැවී ලකුණු 36ක් සහ කමිල් මිෂාර නොදැවී ලකුණු 10ක් ලබා ගනිමින් මේ වන විට පිටියේ රැඳී සිටිනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 602 (168.0) ඕෂද ප්‍රනාන්දු 57, නිපුන් ධනංජය 137, දිනේෂ් චන්දිමාල් 31, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, දිලුම් සුදීර නොදැවී 80, ඩිල්ශාන් මදුශංක නොදැවී 21, චමිඳු වික්‍රමසිංහ 3/90, රවිඳු ප්‍රනාන්දු 2/121, නුවනිඳු ප්‍රනාන්දු 2/59
  • මහනුවර – පළමු ඉනිම කඩුල්ලක් දැවී 52 (8.0) ලහිරු උදාර නොදැවී 36

මෙම තරගය හෙට (15) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ. 

යාපනය සහ කොළඹ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් කරන්නේ කඩුලු 7ක් දැවී 374ක් ලබා ගනිමිනුයි. ඔවුන් අද තමන්ගේ ඉනිම ලකුණු 386කට සීමා කර ගන්නවා.  

පෙර දින කඩුලු 4ක් දවා ගෙන සිටි ජෙෆ්රි වැන්ඩර්සේ අද දවසේ දී ද කඩුලු 2ක් දවා ගනිමින් තම පන්දු යැවීම ලකුණු 86කට කඩුලු 6ක් බවට පරිවර්ථනය කර ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය කණ්ඩායම තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා සිටිනවා. එම ඉනිම වෙනුවෙන් නායක ජනිත් ලියනගේ පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා.  

ඔහු මෙම ඉනිම ගොඩ නගන්නේ තම කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 41ක් ව තිබියදීයි. ඒ වෙනුවෙන් ඔහු 20 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු අංජල බණ්ඩාර ගේ ද සහාය ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 208කට මුහුණ දෙමින් ලකුණු 94ක සබඳතාවක් එක් කරනවා.  

දිනය අවසන් වන විට අංජල බණ්ඩාර පන්දු 214කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා සිටිනවා. ඔහු චාමික කරුණාරත්න එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 109ක දී ලකුණු 55ක් සබඳතාවක් ද ගොඩ නගනවා.  

චාමික කරුණාරත්න ද පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 55කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර ඊට අමතර ව කසුන් රාජිත, මුදිත ලක්ෂාන් සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 386 (95.0) නවෝද් පරණවිතාන 39, අවිශ්ක ප්‍රනාන්දු 144, ධනංජය ලක්ෂාන් 23, කවින් බණ්ඩාර 77, චරිත් අසලංක 51, දුශාන් හේමන්ත 31, මර්වින් අබිනාශ් 2/93, ජෙෆ්රි වැන්ඩර්සේ 6/86
  • යාපනය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 227 (83.0) ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර නොදැවී 84, චාමික කරුණාරත්න 29, නිශාන් පීරිස් 3/55

මෙම තරගය හෙට (15) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.  

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<