මෙවර සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ තාක්ෂණය (DRS) භාවිත කිරීමට ඉඩ නොලැබෙන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.
මෙම වසරේ ජුනි සහ ජූලි මාසවල දී සිම්බාබ්වේ දේශයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට DRS අවස්ථාව ලබා නොදෙන නමුත්, තෙවැනි විනිසුරු මාර්ගයෙන් දුවද්දී දැවී යාම් පිළිබඳ තීරණ ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ICCය විසින් තහවුරු කළ බව ද තවදුරටත් ESPN මගින් වාර්තා කර තිබෙනවා.
මීට පෙර 2019 එක්දින ලෝක කුසලානය වෙනුවෙන් 2018 දී පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ද DRS තාක්ෂණය භාවිතයට නොගැනුණු අතර, එහි දී තෙවැනි විනිසුරුගේ සහය පවා ලැබුණේ පැවැත්වුණු තරග 34න් 10කට පමණයි.
මෙවර එය තරමක් දියුණු මට්ටමකට පැමිණියත් UltraEdge සහ Ball-Tracking වැනි තාක්ෂණික උපායමාර්ග වල අහිමි වීම තරගවලට යම් බලපෑමක් එල්ල කිරීම අනිවාර්ය සාධකයක් වනු ඇත.
2018 දී සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් 2019 ලෝක කුසලානය සඳහා තේරී පත්වීමට බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් සමත් වූ නමුත්, බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්තය අතර පැවැත්වුණු තරගයේ දී Ashley Nurse විසින් යැවූ පන්දුවකින් Richie Berrington කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගිය අතර, එය තරමක් මතභේදකාරී දැවී යාමක් ලෙස සලකනු ලැබුවා.
නමුත් DRS තාක්ෂණය අහිමි වීම නිසා ඒ පිළිබඳ නැවත විමසා බැලීමක් සිදු කිරීමට අයර්ලන්තයට අවස්ථාව හිමි නොවූ අතර, බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණයට එය යම් බලපෑමක් එල්ල කළා.
එමෙන්ම මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වුණු World Cup Qualifiers Play-Off තරගාවලිය සඳහා ද DRS තාක්ෂණය භාවිත නොවුනු අතර එම තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීම නිසා ඉදිරි තරගාවලියට යාමට අවස්ථාව අහිමි වූ නැමීබියා නායක Gerhard Erasmus විසින් තරග විනිශ්චය කිරීම් පිළිබඳ ගැනෙන මෙම තීරණ පිළිබඳ සිය අප්‍රසාදය පල කර තිබුණා.
- මොළෙන් ක්‍රිකට් ගැසූ Shikhar රාජස්ථානය දණ ගස්වයි
- Punjab Kings කණ්ඩායමට Bairstowව අහිමි වෙයි
- KKR නායකයාට මෙවර IPL අහිමි වන ලකුණු
- කවුරුත් නොදන්න, කාටත් නොකියන Bumrahගේ ඇත්තම තත්වය!
- Surya අහසේ සිට පහළටම කඩා වැටේ!
මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජුනි 18 වැනිදා සිට ජුලි 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළුව තවත් රටවල් 9ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙහි දී ICC සුපර් ලීග් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට අමතර බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය, සිම්බාබ්වේ සමඟින් අයර්ලන්තය හෝ දකුණු අප්‍රිකාව මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙත තේරී පත් වනු ඇත.
එමෙන්ම ICC World Cup Cricket League 2 තරගාවලියෙන් නේපාලය, ඕමානය සහ ස්කොට්ලන්තය ද මෙම තරගාවලිය වෙත සුදුසුකම් ලැබීමට සමත් වූ අතර පසුගිය දා නිමා වූ Qualifiers Play-Off තරගාවලියෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවා.
මේ කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් දෙකක් පමණක් මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වීමට සුදුසුකම් ලැබීමට නියමිතයි.
මෙම තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
ESPN cricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<