නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹීමට නියමිතයි. මෙම තරගයේ සිව් වැනි දිනය වන 21 වැනිදා මෙරට 9 වැනි ජනාධිපතිවරණය හේතුවෙන් විවේක දිනයක් ලෙසින් නම් කර ඇති අතර නැවත තරගය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි.
මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ඇතුලත් අතර මේ දක්වා නිමා වූ තරගවල දී නවසීලන්තය තෙවැනි ස්ථානයේ ද සහ ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ ද සිටිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.
මෙතෙක් දෙරට අතර ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර එම තරග නිමා වී ඇත්තේ ශ්‍රී ලංකාව තරග 9ක්, නවසීලන්තය තරග 18ක් සහ නොවිසඳුණ තරග 11ක් ලෙසයි.
එම තරග වෙනුවෙන් මෙතෙක් දෙරට අතර තරගාවලි 18ක් පවත්වා ඇති අතර නවසීලන්තය 8 වතාවක් ද ශ්‍රී ලංකාව 4 වතාවක් ද සහ නොවිසඳුණ 6ක් ලෙසින් ද එම තරගාවලි අවසන් ව තිබෙනවා.
ඔවුනොවුන් අවසන් වරට 2023 වසරේ දී හමුව ඇති අතර තරග 2කින් යුක්ත වූ එම තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් වෙනවා.
මේ එතැන් සිටයි..,
සංචාරය සඳහා එක් වූ නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ Tim Southee වෙතයි. ඔහු මීට පෙර ද ශ්‍රී ලංකාවට එරෙහි ව 2023 වසරේ දී ද නවසීලන්ත කණ්ඩායම මෙහෙයවමින් තරග පිටියට පිවිස ඇති අතර එහි දී නායක්තවය දෙන ලද තරග ද්විත්වය ම ජයග්‍රහණය ලබා ගනිමින් අවසන් කිරීමට ඔහු සමත් ව තිබෙනවා. මේ ඔහු නායකත්වය හොඹවන 13 වැනි තරගයයි.
සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා සතු වන අතර ඔහු නවසීලන්තයට එරෙහි ව නායකත්වයේ කිරුළ දරන්නේ පළමු වරටයි.
ශ්‍රී ලංකාව
මෙම තරගයට එක් වෙන කණ්ඩායම තරගයට දිනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරන ලද අතර ඒ අනුව පිතිකරුවන් 7 දෙනෙක්, දඟ පන්දු යවන්නන් සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් බැගින් කණ්ඩායම සමන්විත වෙනවා.
එංගලන්ත සංචාරයට එක් වෙමින් අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යැවූ මිලාන් රත්නායක සහ විශ්ව ප්‍රනාන්දු වෙනුවට මෙම තරගයට දකුණතින් පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සහ වමතින් පා දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා.
මෙම තරගයේ දී මෙතෙක් පසු පෙළින් පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් අංක 3 පිතිකරු ලෙසින් ඉදිරියට ගෙන තිබීම විශේෂත්වයක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 82කට ක්‍රීඩා කරමින ශතක 15ක් සමඟින් ලකුණු 5656ක් ලබා ඇති අතර මේ දක්වා නවසීලන්තයට එරෙහි ව තරග 7කට ක්‍රීඩා කරමින් ලකුණු 520ක් ලබා තිබෙනවා.
දිනේෂ් චන්දිමාල් ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් විශ්වාසය දිනා ගැනීමත් සමඟින් මෙතෙක් එම ස්ථානයෙන් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් අංක 7 පිතිකරු ලෙසින් කඩුලු රැකීමේ අත් ආවරණ සහිතව ම කණ්ඩායමට එක් කර තිබෙනවා.
ගාලු තණතීරුවේ පන්දු යැවීමේ දී වඩාත් අවධානයට ලක් වෙන පන්දු යවන්නන් බවට රමේෂ් මෙන්ඩිස් සේ ම ප්‍රභාත් ජයසූරිය ද පත් වෙනවා. ඔවුන් අතුරින් රමේෂ් මෙන්ඩිස් ගාල්ල ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කළ තරත 10 දී කඩුලු 56ක් ලබා ගනිමින් ද සහ ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩා කළ තරග 6 දී කඩුලු 53ක් ලබා ගනිමින් ද මෙම තරගය හා එක් වෙනවා.
වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර මෙම තරගයට එක් වෙන්නේ තම ටෙස්ට් කඩුලු 100 කඩඉමට පිවිසිමට තවත් කඩුලු 4ක් පමණක් පිටුපස සිටිමිනුයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු.
- පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
- නවසීලන්තය සමඟ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි
- පරාජිත තරගාවලියක උණුසුම
- පැතුම් ශ්‍රී ලංකාවේ පැතුම ඉටු කරයි!
නවසීලන්තය
දකුණතින් මඳ වේග පන්දු යවන Tim Southee මෙම තරගයට එක් වෙන්නේ මේ දක්වා ටෙස්ට් තරග 100ක දී කඩුලු 380ක් ලබා ගනිමිනුයි. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 12ක දී ලබා ගන්නා ලද කඩුලු 64ක් ද ඒ තුළ වෙනවා.
පිතිකරණයේ දී එතරම් ම නිපුණයෙක් නොවූව ද ඔහු මේ දක්වා ලකුණු 2098ක් රැස් කරගෙන ඇත්තේ අර්ධ ශතක 6ක් ද සමඟිනුයි. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගත් අර්ධ ශතකයක් ද තිබෙනවා.
උප නායක Tom Latham කණ්ඩායමේ සිටින පිතිකරුවන් අතුරින් ප්රමුඛ පෙළේ ලා සැලකෙනවා. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 80ක දී ශතක 13ක් සමඟින් ලකුණු 5418ක් ලබා තිබෙනවා.
Tom Latham ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම බවට පත්ව ඇත්තේ 2018 වසරේ දී Wellington හි දී ශ්‍රී ලංකාවට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 264යි.
එමෙන් ම ඔහුගේ තරග ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 10ක දී ලබා ගන්නා ලද ශතක 3ක් සහ ද්විත්ව ශතකයක් සමඟින් ලකුණු 1039ක් ඇතුලත් ව ඇති අතර එය ඔහුගේ තරග දිවියේ කණ්ඩායමකට එරෙහිව ලබා සිටින ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසයි දැක් වෙන්නේ.
කණ්ඩායමේ සිටින අනෙක් ප්‍රධානතම ප්‍රතිවාදියා වන්නේ Kane Williamson. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 100කට සහභාගී වෙමින් ශතක 32ක් සමඟින් ලකුණු 8743ක් ලබා සිටිනවා. මේ ලකුණු අතර ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගන්නා ලද ද්විත්ව ශතක ද්විත්වයක් සහ තවත් ශතක 3ක් ද සමඟින් ලකුණු 1329ක් තිබෙනවා.
පන්දු යවන්නන් අතුරින් ප්රමුඛ ස්ථානයක් හිමි වෙන්නේ දකුණතින් මඳ වේග පන්දු යවන Matt Henry වෙතයි. ඔහුට තම ටෙස්ට් තරග දිවියේ 100 වැනි කඩුලු කඩඉමට පිවිසිමට තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු 5ක් පමණයි.
නවසීලන්ත ටෙස්ට් සංචිතය
Tim Southee (නායක), Tom Blundell, Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham (උප නායක), Daryl Mitchell, Will O’Rourke, Ajaz Patel, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ben Sears, Kane Williamson, Will Young.
දෙරට ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම්
- කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු
671/4 (220.3) නවසීලන්තය 1991 දී Wellington හි දී.
498/10 (148.1) ශ්‍රී ලංකාව 2005 දී Napier හි දී.
- කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු
93/10 (53.0) ශ්‍රී ලංකාව 1983 Wellington හි දී.
102/10 (52.1) නවසීලන්තය 1992 කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.
- කණ්ඩායම් 2 එක්ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව
1358: 2009 දී කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී. (ශ්‍රී ලංකාව 416 සහ කඩුලු 5ක් දැවී 311 – නවසීලන්තය 234 සහ 397)
- කණ්ඩායම් 2 එක්ව ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව
630: 1998 දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (නවසීලන්තය 193 සහ 114 – ශ්‍රී ලංකාව 323)
- වැඩිම පරතරයකින් ලත් ජයග්‍රහණය
ඉනිමක සහ ලකුණු 65: නවසීලන්තය 2019 වසරේ දී කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
ඉනිමක සහ ලකුණු 16: ශ්‍රී ලංකාව 1998 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- ඉනිමක වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා
267: අරවින්ද ද සිල්වා 1991 Wellington හි දී.
264*: Tom Latham 2018 Wellington හි දී.
- ඉනිමක හොඳම පන්දු යැවීම
7/130 (42.3) Daniel Vettori 2006 Wellington හි දී.
6/43 (18.0) රංගන හේරත් 2012 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
1998 ජුනි මාසයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ටෙස්ට් තරග සඳහා විවෘත වෙන්නේ නවසීලන්තය හා සමඟින් පැවැති තරගයෙනුයි. එම තරගයේ දී ඉනිමක සහ ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම තරගයත් සමඟින් මෙම ක්‍රීඩාංගණයේ දී තරග 44කට එක් ව ඇති අතර ඉන් තරග 25ක ජයග්‍රාහකයන් ලෙසින් ද තරග 13ක පරාජිතයන් ලෙසින් ද අවසන් කර තිබෙනවා. ඉතිරි තරග නිමා වී ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.
මේ තරග අතුරින් නවසීලන්තය සමඟින් 1998, 2009, 2012 සහ 2019 වසරවල තරග 4ක දී ගාල්ලේ දී හමුවෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඒ සෑම තරගයක ම ජයග්‍රාහකයන් ලෙසයි අවසන් කරන්නේ.
එබැවින් ගාල්ලේ දී නොලැබූ ජයග්‍රහණයක් වෙනුවෙන් නවසීලන්තය තම කණ්ඩායමේ නිත්‍ය පුහුණු කණ්ඩායමට අමතර ව විශේෂඥ දඟ පන්දු පුහුණුකරුවෙක් ලෙසින් මෙරට ටෙස්ට් පිටියේ පෙළහර පෑ රංගන හේරත් ද කැටුවයි මෙම තරගයට එක් වෙන්නේ.
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<