කොළඹට නව හිමිකරුවෙක්

1264

2023 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය නිව් යෝර්ක් හි SKKY ව්‍යාපාර සමූහය විසින් මිලදී ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර LPL තරගාවලිය වෙනුවෙන් එක්වන කොළඹ කණ්ඩායමේ නව නාමය ‘Colombo Strikers’ ලෙස යාවත්කාලීන වනු ඇති.

Sagar Khanna මහතා හට අයත් මේ SKKY ව්‍යාපාර සමූහය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ආයෝජන ආයතනයක් වන අතර ඔවුන් වාණිජ ඉඩම් මිල දී ගන්නා ආයතන, අවන්හල් හා විනෝදාත්මක සේවා සපයන ප්‍රකට ආයතන රැසකටම සිය සේවය ලබා දෙනවා.

“කොළඹ කණ්ඩායමේ හිමිකරුවා ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙන්නට ලැබීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. කොළඹ කියන්නේ දක්ෂ ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමක්, හොඳ ප්‍රේක්ෂක ප්‍රමාණයක් මගේ කණ්ඩායම එක්ක එකතු වෙලා ඉන්නවා. පෙර පැවැත්වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිවල දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ කණ්ඩායමක් තමයි කොළඹ කණ්ඩායම.  ඒ නිසා මේ සන්ධිස්ථානයේ දී මෙම තරගාවලිය සමඟ එක්වීමට ලැබීම ගැන මම සතුටුයි. මම බලාපොරොත්තු වෙනවා කොළඹ කණ්ඩායම හොඳම විස්සයි විස්ස කණ්ඩායමක් බවට පත් කරන්න,”  යැයි Colombo Strikers කණ්ඩායමේ නව හිමිකරු Sagar Khanna පවසා තිබෙනවා.

LPL ලීගයේ නිල අයිතිය හිමි IPG සමූහ ව්‍යාපාරයේ සභාපති Anil Mohan මහතා ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ කොළඹ කණ්ඩායමේ නව හිමිකරුවන් පිළිගනිමින් මෙසේ පැවසුවා. “Strikers කණ්ඩායම සහ Sagar Khanna මහතා අපේ පවුලට පිළිගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ රසික රසිකාවියන්ට වටිනාකමක් ලබා දීමට අපි නිරන්තරයෙන් කැපවී සිටින අතර, ප්‍රේක්ෂකයින් හට අමතක නොවන තරග අත්දැකීම් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

“අපි SKKY සමූහය LPL පවුලට සාදරයෙන් පිළිගන්නවා. LPL තරගාවලියේ ගෙවුණු වසර කිහිපය තුල ඉතාමත් හොඳ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ තරගාවලියක්. එය ඉදිරියේ දී තව තවත් ඉදිරියට රැගෙන යමින් ගෝලීය විස්සයි විස්ස ලීගයන් හා කරට කර සටනක් දිය හැකි මට්ටමකට රැගෙන ඒම අපගේ අරමුණයි. මෙම හවුල්කාරිත්වය එම අරමුණ වෙත යන ගමනට විශාල පිටිවහලක් වෙන බව මට විශ්වාසයි,” යැයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

ලංකා ප්‍රිමියර් ලීගයේ සිව්වැනි තරග අදියර මේ වසරේ ජූලි 31 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි සංවිධාකයින් දැනට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<