සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ කාලය නව අවුරුදු උදාව ලෙසින් ශ්‍රී ලාංකිකයෝ සමරති. ජ්‍යෝතීෂ්‍යයට අනුව එකී කාලය කිසිදු සුබ කටයුත්තක් සඳහා සුදුසු නොවන අතර මෙම කාලය පුණ්‍ය කාලය ලෙසින් හැඳින්වේ.
එලෙසින් උදාවෙන අවුරුද්ද ආගමික, ජන චාරිත්‍ර සහ විවිධ ජන ක්‍රීඩාවලින් ද සමන්විතය. ඒ මඟින් ආදරය, සෙනෙහස මෙන් ම ජය පරාජය ද මිනිස් සිත හා බද්ධ කිරීම මේ සිංහල අලුත් අවුරුද්දේ සිදුවෙන ප්‍රමුඛ කාර්යයන් බැව් විශ්වාස කරමු.
නැකතට ලිප ගිනි මෙළවීම, ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර අතරට එක් වේ. මෙම චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව නෑගම් යෑම මෙන් ම අවුරුදු ක්‍රීඩාවල යෙදීම ද සිදු වේ.
පංච කෙළිය, ඔළිඳ කෙළිය, නෙරංචි ඇදීම වැනි ක්‍රීඩා නිවෙස් තුල දී සිදු කරන ඔවුන් එළිමහනේ දී එකිනෙකා පරයන ආකාරයේ ඔන්චිලි වාරම් සහ රබන් ගැසීම ද සිදු කරති. මේ සඳහා වැඩි සහභාගීත්වයක් කාන්තාවන්ගෙන් වන අතර මේ ක්‍රීඩාවන්වල දී ජන ගී ගායනා කිරීමෙන් ඊට වඩාත් රසවත් බවක් එක් කිරීමට ද ඔවුන් ක්‍රියාකිරීම දැකිය හැකිය.
පිරිමින් අතර දැකිය හැකි ප්‍රමුඛතම ක්‍රීඩාව වෙන්නේ චක්ගුඩු පැනීම ය. ගමේ කණ්ඩායම් ද්විත්වයක් අතර පැවැත්වෙන වෙන මෙම ක්‍රීඩාව සඳහා හැඩි දැඩි පිරිමින්ට ඇත්තේ ප්‍රමුඛ ඉල්ලීමකි. අස්වැන්න නෙළා ගත් වෙල් යායක හෝ නිවැසි ඉඩමක ඉඩ ඇති තැනක සිදු කෙරෙන මෙම ක්‍රීඩාව සඳහා ඇතැම් විට ගම් දෙකක කණ්ඩායම් සහභාගීත්වයෙන් ද සිදු වේ.
එමෙන් ම ජල්ලි ගැසීම ද වැඩි වශයෙන් පිරිමින් විසින් කරනු ලබන තවත් ක්‍රීඩාවක් ලෙසින් ද හැඳින්වෙන අතර මෙම ක්‍රීඩාවන්ට අමතර ව ආගමික විශේෂිත පූජා විධි ගණයට වැටෙන අං කෙළිය සහ පොර පොල් ගැසීම වැනි ක්‍රීඩා ද මේ අවුරුදු උදාවේ සිහිපත් කෙරෙන ක්‍රීඩාවන් ය.
අපට මෙම ක්‍රීඩාවන් වර්ථමානයේ දැකිය හැක්කේ ඇතැම් තැනක දී දෙකක දී පමණක් වූව ද මේ අවුරුදු සංස්කෘතියේ දී ඒවාට ලැබෙන පිළිගැනිම අතිමහත් ය. අවාසනාව වන්නේ කාලයත් සමඟ එම ක්‍රීඩාවන් මේ වන විට මතකයන් පමණක් වී තිබීමය. ඇතැම් විට මේ ක්‍රීඩා සිහිපත් වෙන්නේ ද මෙවැනි කාලයක තැබෙන මෙවැනි සටහනකින් ම පමණක් ද විය හැකියි.
කෙසේ වෙතත්, එදා සිට නව අවුරුද්ද හා බැඳුණ ක්‍රීඩා කිහිපයක් ම මේ දක්වා විවිධ වූ වෙනස්කම් සමඟින් සිදු වෙනු අපට දැකිය හැකියි. ඒ අතර ගම හරහා දිවීම, ලිස්සන ගසේ නැගීම, කොට්ටා පොරය, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීමේ තරගය, සංගීත පුටු තරගය, බනිස් කෑමේ තරගය, ගෝනියේ බැස දිවීම සහ සතය සෙවීම වැනි ක්‍රීඩා තරගත් මෙන් ම නව ආරක වන බඹර පැණිය, මරු දණ්ඩේ බනිස් කෑම වැනි තරගවලින් ද සමන්විත ය.
- ඉන්දියාව තෙවැනි තැනට ඇද දමමින් ශ්‍රී ලංකා සහය දුවන කණ්ඩායම් පෙරමුණට
- තුන් කොන් තරගාවලිය සඳහා UAE යන ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි
- 2025 වසර සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමයි
- Clifford කුසලානයත් මහනුවර සතු වෙයි!
- ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළ අවසන්; ඇමරිකාව පෙරමුණට
ගම හරහා දිවීම
සිංහල අලුත් අවුරුදු උත්සවයක ආරම්භක තරග ඉසව්වක් වන්නේ ගම හරහා දිවීමය. මෙය අපේ රටේ ආභාෂය ම තරග ඉසව්වක් ලෙසින් ගැනෙන්නේ නමින් පමණි.
දහ නව වන සියවසේ එංගලන්තයේ ඇරැඹුණා යැයි පැවැසෙන Cross Country Running හෙවත් රට හරහා දිවීම නම් වූ පාසල් ධාවන තරගයකින් මෙය ආරම්භ වී යැයි සැලකෙති. එය මේ වෙද්දී අප රටේ ද පැවැත්වෙන ප්‍රධාන තරගයක් බවට පත් ව ඇති අතර රට හරහා දිවීම සහ විවිධ අනුග්‍රාහක නම්වලින් යුත් මාර්ග ධාවන තරග ලෙසින් පැවැත්වේ.
එහි ආභාෂය ලත් අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයක ප්‍රධාන අරමුණ වන්නේ පැවැත්වෙන අවුරුදු උත්සවයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම ය. ගම කේන්ද්‍රීය ව පැවැතෙන මං මාවත් ආවරණය කෙරෙමින් පැවැතෙන මෙම තරගයෙන් ඇත්තට ම සිදු වූයේ ගමේ ජනතාව තුළ අවුරුදු උත්සවය නැරඹීමට පැමිණීමේ උත්තේජනයක් හට ගැන්වීමයි. නොඑසේ නම් අවුරුදු උත්සවයට සහභාගී වීමට කෙරෙන විවෘත ආරාධනාවයි.
තම නිවස අසලින් හෝ කඩමණ්ඩිය අසලින් තරගයට දිව යන තරුණ/තරුණියන් දැකීමෙන් මේ ආසාව ඇති කිරීමත් සහ තරගකරුවන් පිටුපස දිව යන ඔවුන්ගේ සහායකයන්ගේ ජවාත්මක උත්තේජන වදන් ද එහි පෙළඹීමත් තීව්‍ර කරති.
නමුත් මෙකල නම් මේ තත්ත්වයේ වෙනසක් දැකිය හැකිය. ගම නාගරීකරණය වීමත් සමඟින් ගම හරහා දිවීමේ ඉසව්ව බොහෝ විට පැවැතෙන්නේ ප්‍රධාන මාර්ග ආවරණය කරමිනි. එහි ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන්නේ වාහනයක බැඳි ශබ්ද විකාශ යන්ත්‍ර මගිනි.
කඹ ඇදීම
මෙම ක්‍රීඩාවේ ආරම්භක නාවිකයන්ගෙන් පැවැතෙන්නට ඇතැයි සැලකේ. දීර්ඝ මුහුදු ගමනකින් අනතුරු ව ඔවුන්ගේ විනෝදය සහ ව්‍යායාමය උදෙසා මෙම කඹ ඇදීම සිදු කරන්නට ඇතැයි පවතින විශ්වාසයයි.
ඒ අනුව යමින් මෙම ඉසව්ව අවුරුදු උත්සව සඳහා ද පෙර සිට ම එක් වූ තරග ඉසව්වක් ලෙසින් හැඳින්විය හැකියි. ප්‍රදේශයේ ජවාධික තරුණයන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් අතර පැවැතෙන මෙම ඉසව්වට නරඹන්නන්ගෙන් ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිය හිමි ජාතික කඹ ඇදීමේ සංගමයක් ද ස්ථාපිත අතර ඔවුන් වාර්ෂිකව සංවිධානය කරන විවිධ වයස් කාණ්ඩායන් යටතේ පැවැතෙන ජාතික කඹ ඇදීමේ තරගාවලියක් ද සංවිධානය වේ. මේ තරගවල දක්ෂතා දක්වන්නන් එක් කර ගනිමින් ජාතික කඹ ඇදීමේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද ඇති අතර මේ සඳහා විශේෂයෙන් ම එක් ව ඇත්තේ ආරක්ෂක අංශ නියෝජනය කරන්නන් ය.
කොට්ටා පොරය
පුරාණයේ දී රාජකීය හමුදාවන්ට බැඳෙන්නන් තෝරා ගැනීම සඳහා පැවැති ක්‍රීඩාවක් ලෙසින් කොට්ටා පොර ක්‍රීඩාව හැඳින්වේ. මෙම ක්‍රීඩාවේ දී කෙනෙක් ගේ ශාරීරික ශක්තිය, දරා ගැනීමේ හැකියාව මෙන් ම ශරීරයේ සමබරතාව ද ප්‍රගුණ කෙරෙන්නන් හඳුනා ගැනේ.
මෙම ක්‍රීඩා ඉසව්ව අදටත් ජනගත කෙරෙන අවුරුදු උත්සවයක ජන ආකර්ශනය ලත් ප්‍රධාන තරගයකි.
ලිස්සන ගස නැගීම
ලිස්සන ගසේ නැගීම ක්‍රීඩාවක් නොව එය ජන ජීවිතයේ ඉහළට නැගීමේ ආසාවත් සහ එය එතරම් ම පහසු නොවන බැව් පසක් කරන සත්‍යාවබෝධයක් පෙන්නුම් කරනු ලබන දාර්ශනියක න්‍යායක් ලෙසිනුයි දැක් වෙන්නේ. මෙහි දී ලිස්සන ගසේ ඉහළ ඇති කොඩිය ගැනීම ආසාව හෝ තෘෂ්ණාව ලෙසින් දැක්වෙන බවකි පැවැසෙන්නේ.
මෙය බොහෝ විට ඉන්දීය හින්දුන්ගේ සංස්කෘතික දායාදයක් සහිත වූ ක්‍රීඩාවක් ලෙසින් ද හැඳින්වේ.
කෙසේ වෙතත් පෙර කාලයේ දී මෙම ක්‍රීඩාව සඳහා එක් එක්නෙකා තරග වැඳුණත් වර්ථමානයේ දී ඊට එක් වෙන සියලු දෙනා කණ්ඩායමක් වශයෙන් එක් ව තරග කිරීම ඔවුන්ගේ උපක්‍රමණය වී තිබේ. ඒ ලැබෙන ත්‍යාගය සමසේ බෙදා ගැනීමේ ගිවිසුම් මත ය.
පාපැදි තරග
මේ තරග අතරට, ඇති – හැකි බක්මහ උළෙල සංවිධායකයෝ පාපැදි ධාවන තරග ද එක් කරති. එය මෙම කාලය අනුව ඉතා වියදම් අධික ක්‍රීඩාවක් සේ සැලකිය හැකියි.
මෙය රට රටවල ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ඇති – හැකි සමාජයේ ශරීර සෞඛ්‍ය සමබරව පවත්වාගෙන යෑම සඳහා සිදු කෙරුණක් ව්‍යායාමක් ලෙසිනුයි සිදු කෙරුණේ. නමුත් පසු කාලීන ව මෙය ක්‍රීඩාවක් ලෙසින් ස්ථාපිත වන අතර අද මේ වෙනුවෙන් ම වන සුවිශේෂී තරග විවිධ රටවල දී දැකිය හැකිය.
ඒ අතර ප්‍රංශ සවාරිය ප්‍රමුඛ ස්ථානයේ පවතින අතර මෙරට පාපැදි ධාවකයන් සඳහා වෙන්වූ ප්‍රමුඛතම තරගාවලිය වන්නේ ලංකා සවාරියයි.
එදා අවුරුදු ක්‍රීඩාවන් බොහෝ විට සිට සිදු වූයේ ගමේ ප්‍රධානියාගේ නිවස ආශ්‍රිතව ය. එමගින් ගමේ මිනිසුන් අතර සමඟ වන සමඟිය, අන්‍යන් සමඟ වන අවබෝධය සේ ම වැඩිහිටියන්ට ගරු කිරීමේ සමාජයක් ද ඔවුන් බලාපොරොත්තු වූ හ. වත් – පිළිවෙත් මෙන් ම කෑම – බීම ද එකිනෙකා ඇසුරේ බෙදා – හදා ගැනීමෙන් ඔවුන් ගෞරවනීය සමාජයකට පොඩිහිටියෝ හුරු කළ හ.
තැනක දෙතැනක දී එවැන්නක් සිදු නොවූවා ද නොවේ, නමුත් නව අවුරුදු සංකල්පය ම වූයේ එකිනෙකා හා සමඟියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමේ පොදු ධර්මතාවක් මිනිසාට පසක් කිරීමයි. අද ද මේ නව අවුරුද්දේ මුඛ්‍ය පරමාර්ථය එය වූව ද යාන්ත්‍රීකරණය වූ සමාජයක අපට එවැන්නක් දැක ගත හැකිව ඇත්තේ කලාතුරකින් වීම අභාග්‍යයකි.
එදා ගමේ ප්‍රධානියාගේ නිවසේ හෝ ඉඩමේ දැකිය හැකි වූ කෙළි සෙල්ලම් පිටිය අපට මෙදා දැකගත හැකි වෙන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වෙන බක්මහ උළෙලක දී ය. එදා මුළු ගම ම එතැනට එක්රොක් වූව ද මෙදා එපමණකින් ගමේ ජනයා ඊට ඒකරාශි වෙන්නේ නැත.
ඊට ද හේතු වී ඇත්තේ මිනිසා වෙනදාට වඩා සංකීර්ණ සමාජයක හිර වී ඇති බැවිනි. එමෙන් ම එදාට වඩා අද මිනිසුන්ගේ ඉලක්කයන් පුළුල් වීම මත ය.
එදා සහ අද අතර කාල පරාසයේ දී නොවෙනස් ව පවතින එක ම දේ වී ඇත්තේ නැකතකට අනුව චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමත් සහ බක්මහ උළෙලක පවතින එක ම ආකාරයේ ක්‍රීඩාවන් පැවැත්වීමත් පමණි.
උදා වූ නව අවුරුද්ද Thepapare.com සමඟ එක් ව සිටින ඔබ සැමටත්, ලක්වාසි සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි Thepapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<