ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ සහ ලක්ෂිත මණසිංහ කැඳවා තිබෙනවා.
මණසිංහ සහ මහීෂ් යන දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනාට අමතරව වමතින් දඟපන්දු යවන 19 හැවිරිදි වෙල්ලාලගේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට හදිසියේම කැඳවා තිබෙන්නේ ප්‍රවීන් ජයවික්‍රම හට කොරෝනා වයිරසය වැළදීම නිසාවෙනුයි.
ඒ අනුව ඔහුව දින 5ක ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන නිසා ඔහුට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේම පළමු ටෙස්ට් තරගයේ දී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වුනු ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබීම ද මේ ක්‍රීඩකයින් තිදෙනා සංචිතයට කැඳවීම සඳහා හේතුවක්.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුන අතර එහි දී 25 හැවිරිදි ඇඹුල්දෙණිය හට දඟපන්දු යවන්නන්ට හිතකර තණතීරුව මත එකඳු හෝ කඩුල්ලක් දවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
මහීෂ් මේ දක්වා පළමු පෙළ තරග 3ක් පමණක් ක්‍රීඩා කර තිබෙන අතර මණසිංහ නිමා වුන ශ්‍රී ලංකා A – ඕස්ට්‍රේලියා A සිව්දින තරගවල දී හොඳ දස්කම් අතරට පැමිණියේ තරග 2ක් තුල කඩුලු 13ක් දවා ගෙනයි.
- Ashton Agarට දෙවැනි ටෙස්ට් තරගය මඟහැරෙයි
- පහසු ජයක් සමඟින් තරගාවලියේ ජය ඉන්දියාවට
- එංගලන්ත ප්‍රේක්ෂකයන් Virat Kohliට ඔච්චම් කරයි!
- LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි
- වනිඳු යාපනයෙන් මහනුවරට
19 හැවිරිදි වෙල්ලාලගේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගනිමින් තරගාවලිය අවසානයේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්වුනා.
වමතින් දඟපන්දු යවන ඇඹුල්දෙණිය සහ ජයවික්‍රම යන ක්‍රීඩකයින් දෙදෙනාම නොමැති නිසා දෙවැනි ටෙස්ට් තරගයේ දී වෙල්ලාලගේ හට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට තිබෙන හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතර රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා සංචිතයේ සිටින අනෙක් නිත්‍ය දඟපන්දු යවන්නන් දෙදෙනායි.
මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 4ක් දවා ගන්නා විට, වැන්ඩර්සේ එම තරගයේ දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. ICC ලෝක ටෙස්ට් ශුරතාවලියට ඇතුළත් තරග 2කින් සමන්විත මේ තරගාවලියේ 1-0ක් ලෙස දැනට ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින අතර දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<