ගලගෙදරින් ටයිකොන්ඩෝ ජාත්‍යන්තර විනිසුරුවරයෙක්

10
New International Taekwondo Umpire

ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් වූ ඒ. ඒ. ජෙසීර් මොහොමඩ් මහතා ජාත්‍යන්තර ටයිකොන්ඩෝ විනිසුරුවරයෙක් ලෙසින් පසුගියදා සුදුසුකම් ලබා ගත්තේ ය. ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය මඟින් ඉන්දුනීසියාවේ පැවැති 132 වැනි ටයිකොන්ඩෝ ජාත්‍යන්තර විනිසුරු පාඨමාලාව සාර්ථකව හැදෑරූ ඒ මහතා මහනුවර, ගලගෙදර ප්‍රදේශයෙන් බිහි වූ පළමු ජාත්‍යන්තර ටයිකොන්ඩෝ විනිසුරුවරයා ය.

“ටයිකොන්ඩෝ තමයි මගේ ජීවිත ය. දවසේ වැඩි කාලයක් ම ගත කරන්නේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවත් සමඟ. ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කළ මම අද ජාත්‍යන්තර විනිසුරුවෙක් ලෙසිනුන් මේ ක්‍රීඩාවට එකතු වෙනවා. ටයිකොන්ඩෝ ජාතික විනිසුරුවරයෙක්, පුහුණුකරුවෙක් සහ ජාත්‍යන්තර විනිසුරුවරයෙක් බවට පත් ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් ජාතිකයාත් මමයි. ඒ ගැන මම ආඩම්බර වෙනවා.” ජෙසීර් මොහොමඩ් මහතා ThePapare සමඟ පැවැසුවේ ය.

මහනුවර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ හිටපු ලේකම්වරයා ද වූ  ජෙසීර් මොහොමඩ් මහතා මේ වන විට එම සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙසින් ද කටයුතු කරන්නේ ය. එමෙන් ම JM ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජයේ සභාපති සහ ප්‍රධාන පුහුණුකරු වන්නේ ද ඒ මහතා වන අතර ඔහු මේ ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ මුරමුදලිගේ රංජිත් මහතාගේ මඟපෙන්වීම සහ පුහුණුවීම් යටතේ ය.

“මේ දක්වා මේ ගමන පැමිණීමේ දී සහයෝගය දැක් වූ මුරමුදලිගේ රංජිත් මහතා, Ki – Su – Lee මහතා, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති සහ ලේකම් ඇතුලු සියලු නිලධාරීන් මෙන් ම ටයිකොන්ඩෝ විනිසුරු සංගමයේ සභාපති ඇතුලු අතහිත දුන් සියලු දෙනාට ම ස්තූතිවන්ත වෙනවා.” ජෙසීර් මොහොමඩ් මහතා ThePapare සමඟ නැවත පැවැසුවේ ය.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<