2020 ලංකා ප්‍රිමියර් ලීගය (LPL) සඳහා තරග වදිනු ලබන කොළඹ කිංග්ස් (Colombo Kings) කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ආරම්භක පිතිකරු Herschelle Gibbs පත්කර ඇති බව වාර්තා වේ.
කොළඹ කිංග්ස් කණ්ඩායමේ අයිතිකරුවන් විසින් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Kabir Ali මහතා පසුගියදා තෝරා පත්කර ගත්තේ, ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන සිටි Dav Whatmore මහතා පුද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර LPL තරගාවලිය සඳහා සහභාගී නොවන නිසාවෙනි.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- “ලෝක කුසාලන සත්කාරකත්වය ලැබීම ආඩම්බරයට කාරණයක්” – BCCI සභාපති
- ක්‍රිකට් ලොව වීරයා හැබැහින් දුටු Yuvrajගේ සැබෑ වුනු සිහිනය
- රංගන භායි, සලාම්!
- LPL උණුසුමත් රැගෙන Jaffna Stallions හම්බන්තොටට
කෙසේ නමුත් ඊයේ (17) දිනයේ දී වාර්තා වූ නවතම තොරතුරු අනුව Kabir Ali මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාවෙන් ඔහුට මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට හැකියාවක් නොලැබෙන බව දන්වා සිටීමත් සමඟම කොළඹ කිංග්ස් කණ්ඩායමේ අයිතිකරුවන් හට ඉතාමත් ඉක්මණින්ම නව පුහුණුකරුවෙකු සොයා ගැනීමට සිදුවිය.
ඒ නිසාවෙන් LPL තරගාවලිය සඳහා තරග විස්තර විචාරකයෙකු ලෙස සම්බන්ධ වීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටි Herschelle Gibbs මහතාව කොළඹ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත්කර ගැනීමට කොළඹ කිංග්ස් කණ්ඩායමේ අයිතිකරුවන් තීරණය කර තිබේ.
වයස අවුරුදු 46ක් වන Herschelle Gibbs ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ අත්දැකීම් රැසක් තිබෙන ක්‍රීඩකයෙකු වන අතර ඔහු එහිදී මුළු ලකුණු 14661ක් රැස්කර ගැනීමට සමත් වෙමින් දස්කම් දක්වා ඇත. ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරු තනතුර සඳහා ආගන්තුක නොවන ඔහු, මීට පෙර දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල් වල පැවැත්වෙන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි වලදී කණ්ඩායම් කිහිපයක ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ කටයුතු සිදුකර තිබේ.
Been an interesting day or two but so grateful to be head coach of @ColomboKings https://t.co/lX86XTWJtH
— Herschelle Gibbs (@hershybru) November 18, 2020
එසේම කොළඹ කිංග්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස වැඩ කටයුතු සිදුකිරීමට නියමිතව සිටි චමින්ද වාස් පුද්ගලික හේතුවක් මත මෙවර තරගාවලිය සඳහා සහභාගී වීම අසීරු බව දන්වා තිබෙන නිසාවෙන් ඒ සඳහා රංගන හේරත් ආදේශ කර ගැනීමට කොළඹ කිංග්ස් කණ්ඩායමේ පරිපාලනය කටයුතු කර ඇත.
ටෙස්ට් කඩුලු 433ක් දවා ගනිමින් ලොව වැඩිම කඩුලු දවාගත් වමත් පන්දු යවන්නා බවට පත්වූ හේරත්, Tamil Union Cricket & Athletic කණ්ඩායමේ පුහුණු උපදේශවරයෙකු ලෙස වැඩ කටයුතු කරමින් පුහුණුකරුවෙකු ලෙස යම් අත්දැකීමක් ලබාගෙන තිබේ.
“අපේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස Herschelle Gibbs තෝරා ගැනීම පිළිබඳව අපි ගොඩාක් සතුටට පත්වෙනවා. ඔහු දකුණු අප්‍රිකාවෙන් බිහිවුනු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ වගේම නායක ඇන්ජලෝ මැතිව්ස් මෙවර තරගාවලිය තුළදී කොළඹ කිංග්ස් කණ්ඩායම ඉතාමත් හොඳින් මෙහෙයවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි කොළඹ කිංග්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක Shadab Jakarti මහතා ThePapare.com වෙත පැවසීය.
නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් සහ අවසන් මහා තරගය ඇතුළත්ව ඇත.
මේ සඳහා තරග වදිනු ලබන අනෙක් කණ්ඩායම් 4හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස හෂාන් තිලකරත්න (මහනුවර Tuskers), තිලිණ කණ්ඩම්බි (යාපනය Stallions), Owias Shah (දඹුල්ල Viiking) සහ Moin Khan (ගාල්ල Gladiators) කටයුතු කිරීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<