හතුරුසිංහ ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක්?

6

නව පත්වීම් ලද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Faruque Ahmed විසින් එරට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ තනතුර පිළිබඳ ගැටලු මතු කර තිබෙනවා.

ඔහු විසින් සිය ධුරයට පත් වීමට පෙර ද චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව සඳහන් කළා.

මගේ කලින් ස්ථාවරය වෙනස් වුනේ නැහැ. ඉදිරි දින දෙක – තුන තුළ ඔහුට වඩා හොඳ කෙනෙකු සොයා ගැනීම පිළිබඳ මම මගේ සගයින් සමඟ සාකච්ඡා කළ යුතුයි. අප සමඟ එක් වීමට කැමති අය අපි සොයාගත යුතුයි.”

Faruque පවසන ආකාරයට චන්දික හතුරුසිංහගේ පුහුණුකාර ධුරය අවදානමකට ලක් වී තිබෙනවා.

Faruque විසින් මීට පෙර ද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ලෙස කටයුතු කළ අතර, 2017 දී සිදු කළ තේරීම් කමිටු වෙනසක් සමඟ ඔහු සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා. මෙම වෙනස්කම සිදුකිරීමට හතුරුසිංහ විසින් ඉල්ලීම් කර තිබීමත් විශේෂත්වයක්.

ඔහුගේ (හතුරුසිංහගේ) විශ්වසනීයත්වය සහ ඔහු පසුබිමේ සිට සිදු කළ කාර්යයන් අනුව ඔහුව තවදුරටත් තබා ගැනීමට හේතුවක් නැහැ. ඔබට යම් මුදලක් අහිමි වේවි, (ඔහුව ඉවත් කිරීමෙන්) නමුත් ඔහු සිටීමෙන් සිදු ව හානිය ඊට වඩා විශාලයි. ඔහුට අවශ්‍ය ව පරිසරයේ වැඩ කිරීම අපහසු බව මම හඳුනාගත්තා.

2023 වසරේ දී හතුරුසිංහ විසින් දෙවැනි වරටත් බංග්ලාදේශ පුහුණුකරු ලෙස පත් කිරීම පිළිබඳ අදාළ කාලයේ දී ම Faruque විසින් ප්‍රශ්න කළ නමුත්, එවකට බලධාරීන් හතුරුසිංහ කෙරේ විශ්වාසය පළ කළා.

හතුරුසිංහ විසින් නැවත බංග්ලාදේශය පුහුණුකරු ධුරය බාර ගැනීමෙන් පසුව ගෙවුණු කාල සීමාව තුළ කණ්ඩායමෙන් කැපී පෙනුණු දක්ෂතා වාර්තා වුනේ නැහැ. විශේෂයෙන්ම නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තුළ ඔහු විසින් ගත් තීරණ පිළිබඳ විවාදාත්මක කතාබහ ද නිර්මාණය වුනා.

හතුරුසිංහ දෙවැනි වරටත් ගෙන්වා ගැනීම සැබෑ  වරදක්. ඔහු අවසන් වර රැකියාවෙන් ඉවත් වෙමින් අපව අපහසුතාවට පත් කළා. ඔහු නැවත ඔහුගේ රටට ගියා. සභාපති, අධ්‍යක්ෂවරු ඇතුළු සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසින් එවැනි තීරණය ගැනීම මට අදහාගත නොහැකි වුනා.

ඔහුව නැවත ගෙන්වාගත් අය හිතුවේ ඔහු මැජික් කරුවෙක් කියලා. එයාලා හිතුවේ මේ සාර්ථකත්වය (බංග්ලාදේශයේ) නිර්මාණය කළේ හතුරුසිංහ විසින් කියලයි. ක්‍රිකට් කියන්නේ මැජික් එකක් නෙවෙයි. බංග්ලාදේශයේ සාර්ථකත්වයට ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, තේරීම් කමිටු සහ බලධාරීනුත් හේතුවක් වුනා.

Faruque විසින් එසේ තම අදහස් ප්‍රකාශ කරමින් චන්දික හතුරුසිංහ දැඩි ලෙස විවේචනය කර තිබුණා.

එමෙන්ම ඉදිරියේ දී හතුරුසිංහගේ පුහුණුකරු ධුරය පිළිබඳ ගන්නා තීරණය පිළිබඳව ද දැන ගැනීමට හැකි වනු ඇති.

ඒ පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<