නෙත්මි අහිංසා ලෝකඩ පදක්කමක් කරා

World U20 Wrestling Championship 2024

10
Nethmi Ahinsa

වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලව පොර ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට නෙත්මි අහිංසා විසින් සමත් වුනා.

ස්පාඤ්ඤයේ දී පැවැත්වුණු මෙම ශූරතාවලියේ 53kg බර පන්තිය යටතේ තරග වැදුණු නෙත්මි තම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවැත්වුණු තරගයෙන් Valeria Mikitish ක්‍රීඩිකාවට එරෙහිව ලකුණු 6-2ක් ලෙස ජයග්‍රහණය ලැබීමට සමත් වුනා.

ඉසව්වේ මූලික වට වල දී ඇය විසින් පිළිවලින් කසකස්තාන, බල්ගේරියා සහ හංගේරියානු ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 10 – 0, 10 – 0ක් සහ 14 – 3ක් ලෙස ජයග්‍රහණ ලබා ගනිමින් ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා.

ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී චීන ක්‍රීඩිකා Jin Zhang සමඟ පැවැත්වුණු තරගය ඉතා තියුණු මුහුණුවරක් ලබා ගත් අතර, එය ලකුණු 2-2ක් ලෙස නිමා වුනේ අහිංසාට මෙම තරගාවලියේ සිය පළමු සහ එකම පරාජය උරුම කර දෙමිනුයි.

ඒ අනුවයි ඇයට Valeria සමඟ ලෝකඩ පදක්කම සඳහා තරගය ක්‍රීඩා කිරීමට මාර්ගය නිර්මාණය වුනේ. මෙය ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ දී මල්ලවපොර ක්‍රීඩාවෙන් ලද විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දිය හැකියි.

එමෙන්ම මීට පෙර නෙත්මි විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී ද ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<