ශ්‍රී ලංකාව 16 වැනි ස්ථානය දිනූ දැල්පන්දු ලෝක කුසලානය

Netball World Cup 2023

3733

ආසියානු දැල්පන්දු ශූරියන් ලෙසින් දකුණු අප්‍රිකාවේ දී පැවති 2023 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එය නිමා කරමින් මෙරට ට පැමිණීමට සිදු වූයේ එතෙක් ආසියානු ශූරියන් ලෙසින් වූ අභිමානය කුසලානයකට පමණක් සීමා කර ගනිමින්.

ආසියානු කලාප වත්මන් ශූරියන් ලෙසින් මෙන් ම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 15 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ දී තම තරග කාලසටහන නිමා කරන්නේ 16 වැනි ස්ථානයට පත් වෙමින්.

එහි දී ආසියානු අනුශූරියන් වූ සිංගප්පූරුව වෙතින් අවස්ථා 2ක දී ම පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වෙනවා.

2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ගමන් මඟ

ප්‍රතිවාදීන් 1 වටය 2 වටය 3 වටය 4 වටය ප්‍රතිඵලය
1 ජැමෙයිකාව 5-26 6-26 7-23 7-30 ජැමෙයිකා කණ්ඩායමට ලකුණු 105-25ක ජයක්.
2 දකුණු අප්‍රිකාව 9-24 9-21 6-23 8-19 දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 87-32ක ජයක්.
3 වේල්සය 11-17 11-13 18-20 16-18 වේල්ස් කණ්ඩායමට ලකුණු 68-56ක ජයක්.
ප්‍රාරම්භක වටය
4 සිංගප්පූරුව 10-19 17-7 13-16 12-13 සිංගප්පූරු කණ්ඩායමට ලකුණු 55-52ක ජයක්.
5 සිම්බාබ්වේ 10-18 12-15 8-19 6-19 සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 71-36ක ජයක්
6 බාබඩෝස් 15-15 15-11 13-22 17-8 ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 60-56ක ජයක්.
ස්ථාන වෙන්කර ගැනීමේ වටය
7 සිංගප්පූරුව 15-8 11-12 10-16 10-13 සිංගප්පූරු කණ්ඩායමට ලකුණු 49-46ක ජයක්.

(පළමුවෙන් සටහන් වන්නේ ශ්‍රී ලංකාව ලත් ලකුණු සංඛ්‍යාවයි.)

ලෝක කුසලාන තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම: ගයංජලී අමරවංශ (නායිකාව C/WA), දුලංගි වන්නිතිලක (උප නායිකාව GA/WA), තිසාලා අල්ගම (GS/GK), සේමිණී අල්විස් (GA/GS), ශානිකා පෙරේරා (GK/GS), රශ්මි පෙරේරා (WA/GA), මල්මි හෙට්ටිආරච්චි (WD/GD), ගයනි දිසානායක (GK/GD), චතුරංගි ජයසූරිය (GD/GK), කෞෂල්‍යා විජේසූරිය (WD/GD), භාෂිණී ද සිල්වා (GD/WD) සහ තර්ජිනී සිවලිංගම් (GS).

තිලකා ජිනදාස (ප්‍රධාන පුහුණුකාරිණිය), දීපි ප්‍රසාදි (සහාය පුහුණුකාරිණිය)

පළමු වටය

මෙම තරගාවලියේ පළමු වටය සඳහා C කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3කින් යුත් එම වටය නිමා කරන්නේ සිව්වැනි ස්ථානයට පත් වෙමින්.

එහි දී පළමු වෙන් ම තරග බිමට පිවිසි ජැමෙයිකා ක්‍රීඩිකාවන් වෙතින් ලකුණු 80ක පරතරයකින් යුක්ත පරාජය වීමකට මුහුණ දීමට අපට සිදු වෙනවා. එය තරගාවලියේ මෙතෙක් පැවති තරග අතුරින් එතරම් ම පරතරයකින් යුක්තව පරාජය වූ තරගය ලෙසින් මෙන් ම ප්‍රතිවාදීන් රැස් කරන ලද ලකුණු 105, තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් ද වාර්තා වුනා.

කෙසේ වෙතත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානයේ පසු වූ ජැමෙයිකානු ක්‍රීඩිකාවෝ ඉදිරියේ තිසාලා අල්ගම, දුලංගි වන්නිතිලක, සේමිණි අල්විස්, තර්ජනී සිවලිංගම් තමන් වෙත ලැබුණ අවස්ථාවන් ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට සමත් වුනා.

අනතුරුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ සත්කාරක දකුණු අප්‍රිකාව සමඟිනුයි. ඒ වෙද්දී වේල්ස් කණ්ඩායම පරාජය කර සිටි සත්කාරකයෝ ශ්‍රී ලංකාව ලකුණු 55ක පරතරයක් ඇතිව ලෙහෙසියෙන් ම පරාජයට පත් කරනවා. එම තරගයේ දී ප්‍රතිවාදීන්ට එරෙහිව තිසාලා අල්ගම, දුලංගි වන්නිතිලක සහ සේමිණි අල්විස් තමන් වෙත ලද අවස්ථාවන් සාර්ථක කර ගනිමින් කණ්ඩායමට ලකුණු ලබා දුන්නා.

පළමු වටයේ පැවති අවසන් තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූයේ පරාජය උරුම කර ගැනීමටයි. කෙසේ වෙතත් එම තරගයේ දී අන් තරග 2 අභිබවා යමින් තරමක තරගකාරී රටාවකට පිවිසිමට අපේ ක්‍රීඩිකාවන්ට හැකි වුනා. එහි දී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත් වූයේ තර්ජනී සිවලිංගම්. ඇය තමන් වෙත ලද අවස්ථා 35න් 33ක් ම සාර්ථක කර ගැනීමට සමත් වූ අතර ඊට අමතර ව  තිසාලා අල්ගම සහ දුලංගි වන්නිතිලක ද තමන් වෙත ලද අවස්ථාවන් ලකුණු බවට පරිවර්තනය කර ගත්තා.

දෙවැනි වටය

පෙර වටයේ ප්‍රතිඵල අනුව ප්‍රාරම්භක වටයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එහි දී පළමු වෙන් ම තරග කරන්නට සිදු වන්නේ ආසියානු තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පරාජය කළ සිංගප්පූරුව සමඟින්. ඒ වෙද්දී සිංගප්පූරුව ද D කාණ්ඩයෙන් ලෝක කුසලාන තරගාවලියට එක් වෙමින් ලබා සිටියේ එම කාණ්ඩයේ සිව්වැනි ස්ථානයයි.

කෙසේ වෙතත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ ආරම්භයේ දී ම තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වුනා. දෙවැනි අර්ධයේ දී ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීමෙන් ඉදිරියට පිවිසියට ද සම්පූර්ණ ලකුණු ලැයිස්තුවෙන් ප්‍රතිවාදීන් අභිබවා යෑමට හැකි වූයේ නැහැ. අනතුරුව තරගය අවසන් වන තුරු සිංගප්පූරු ක්‍රීඩකයෝ තරගයේ පාලනය තමන් සන්තක කර ගත් අතර ලකුණු 3ක පරතරයක පරාජයකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට සිදු වුනා.

එවර ද තමන් වෙත ලැබුණු අවස්ථා 27න් 22ක් සාර්ථක කර ගැනීමට තර්ජනී සිවලිංගම් සමත් වෙන අතර තිසාලා අල්ගම අවස්ථා 31න් 28ක් සාර්ථක කර ගැනීමට ද සහ දුලංගි වන්නිතිලක තමන් වෙත ලැබුණ අවස්ථා 2 ම සාර්ථක කර ගැනීමට ද සමත් වුනා.

අනතුරුව පැවති සිම්බාබ්වේ කණ්ඩායම හා සමඟ තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 35ක පරතරයකින් පරාජය කිරීමට ප්‍රතිවාදීන් සමත් වුනා. එහි දී සිම්බාබ්වේ ක්‍රීඩිකාවෝ දැඩි ආක්‍රමණික රටාවක් අනුගමන කරමින් තරග බිමට පිවිසි අතර ඔවුන් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක ඉදිරියට පැමිණීමට ඔවුන් ඉඩ ලැබා දුන්නේ නැහැ. එම තරගයේ දී වඩාත් සාර්ථක ක්‍රීඩිකාව බවට පත් වූයේ දුලංගි වන්නිතිලක. ඇය තමන් වෙත ලැබුණ අවස්ථා 23න් 20ක් සාර්ථක කර ගැනීමට සමත් වෙනවා.

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව ලත් එක ම ජයග්‍රාහී තරගයේ ප්‍රතිවාදීන් වූයේ බාබඩෝස් කණ්ඩායමයි. ඔවුන් හා සමඟ තරගයේ දී ලකුණු 4ක පරතරයකින් යුක්තව ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුනා. එය ලෝක කුසලාන ඉතිහාසයේ සිංගප්පූරු කණ්ඩායම හැරුණු කොට ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් කළ අනෙක් කණ්ඩායම ලෙසින් ඉතිහාසයට එක් වුනා.

එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරින් තිසාලා අල්ගම තමන් වෙත ලැබුණ අවස්ථාවන් 50න් 47ක් ම ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූ අතර දුලංගි වන්නිතිලක සහ සේමිණි අල්විස් තමන් වෙත ලැබුණ සියලු අවස්ථාවන් සාර්ථක කර ගනිමින් ලකුණු 4 බැගින් ලබා ගත්තා.

තීරණාත්මක සිංගප්පූරුව සමඟ තරගය

තරගාවලියේ 15 වැනි ස්ථානය වෙන්කර ගැනීම වෙනුවෙන් පැවති තරගයේ දී නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදු වෙන්නේ සිංගප්පූරුව සමඟිනුයි. පෙර තරගයේ දී ලත් ජයග්‍රහණයත් සමඟින් තරගයට පිවිසිය ද පළමු වටයේ ම සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. නමුත් එතැන් සිට නැවත වතාවක් තම ආධිපත්‍ය පිටියේ පැතිර වීමට සිංගප්පූරු ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

එම තරගය ලකුණු 3ක පරතරයකින් යුක්තව පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූයේ ලෝක කුසලාන තරගාවලියට එක් වෙන විට තිබූ ස්ථානයෙන් එක් ස්ථානයකින් පසු බැසීමටයි.

කෙසේ වෙතත් එම තරගයේ දී නැවත වතාවක් තිසාලා අල්ගම, සේමිණි අල්විස් සහ දුලංගි වන්නිතිලක තමන් වෙත ලැබුණ අවස්ථාවන් ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට සමත් වුනා.

තරගාවලියේ දී වැඩිම ලකුණු රැස් කිරීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත් වීමට තිසාලා අල්ගම සමත් වුනා. ලද අවස්ථා 216න් අවස්ථා 189ක් ම සාර්ථක කර ගැනීමට ඇය සමත් වූ අතර එහි ප්‍රතිශතය 87.5ක්.

ඉන් අනතුරුව සාර්ථක ම ලකුණු විදින්නිය බවට පත් වූයේ තර්ජනී සිවලිංගම්. ඇය තමන් වෙත ලද අවස්ථා 65න් 59ක් ම සාර්ථක කර ගන්නවා. එහි සාර්ථක වීමේ ප්‍රතිශතය වන්නේ 90.76ක්.

අනතුරුව දුලාංගි වන්නිතිලක තමන් වෙත ලද අවස්ථා 37න් 29ක් ම සාර්ථක කර ගනිමින් සාර්ථක වීමේ ප්‍රතිශතය 78.37ක් ලෙස ද සහ තමන් වෙත ලද අවස්ථා 30න් 27ක් සාර්ථක කර ගත් සේමිණි අල්විස්  90.00 සාර්ථක වීමේ ප්‍රතිශතයක් ද වාර්තා කිරීමට සමත් වුනා.

අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ ද සහයෝගය මත මේ ලකුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලැබුනත් මෙම තරග පරාජයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එක දිගට තම දක්ෂතා පවත්වා ගෙන යෑමේ නොහැකියාව බෙහෙවින් ම බලපෑ බවයි නිරීක්ෂණය වන්නේ. පිටිය පාලනය කිරීමේ දී ප්‍රතිවාදීන් හා එක දිගට උරෙනුර ගැටීමේ අවස්ථාවන් අවම වූ අතර විශේෂයෙන් ම තියුණු තරග වටයකින් පසුව නැවත එවැනි වටයකට පිවිසීමේ හැකියාවකින් ඔවුන් සතු වූයේ නැහැ.

එවැනි වට කිහිපයක් පමණක් අපට මෙම තරගාවලියේ දී අපේ ක්‍රීඩිකාවන් වෙතින් නිරීක්ෂණය වූව ද මෙවැනි තරගාවලියක දී එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවේ.

එවැනි අඩු-පාඩු හඳුනා ගත්තේ නම් ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයේ දී සිංගප්පූරුව අභිබවා යෑමට අපගේ කණ්ඩායමට හොඳට ම ඉඩ ප්‍රස්ථාව තිබුණා. නමුත් එම අදක්ෂතාව ම එතෙක් අප සිටි ස්ථානය අප වෙත අහිමි කිරීමට ද ප්‍රමුඛ වුනා.

දැල්පන්දු පිටියේ තවත් උණුසුම් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<