නවීඩ් නවාස් නැවතත් බංග්ලාදේශයට!

144

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරීත්වය නවීඩ් නවාස් මහතා හට හිමි වී තිබෙනවා.

මෙතෙක් කල් එම වගකීමේ කටයුතු කළ Stuart Law ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් පුහුණුකරු ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව හිස් වුන ස්ථානය නවීඩ්ට හිමි වී ඇති අතර, ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම්වල පිතිකරන පුහුණු උපදේශක ලෙස ද ඔහු කටයුතු කරනු ඇති.

නවීඩ් නවාස් විසින් මීට පෙර ද 2018 වසරේ සිට 2020 වසර දක්වා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළ අතර, එහි දී බංග්ලාදේශය විසින් මෙතෙක් ඉතිහාසයේ ජයග්‍රහණය කළ එකම ICC කුසලානය වන 2020 19න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කරා රැගෙන යාමේ ප්‍රධාන හවුල්කරුවකු වීමට ද ඔහුට හැකි වුනා.

ඉන් පසුව ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස වසර දෙකක කාලයක් (2022 – 2024) කටයුතු කළ අතර, මෑතක දී එම කාල සීමාව නිම වීමෙන් පසුවයි ඔහුට නැවතත් මෙසේ බංග්ලාදේශයෙන් ඇරයුම් ලැබුණේ.

මෙහි දී ඔහුට අමතරව පාකිස්තානයේ Ijaz Ahmad සහ ඉන්දියාවේ Wasim Jaffer ද නව 19න් පහළ පුහුණුකරු ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කෙටුම්පත් කර තිබූ අතර, එයින් ඔවුන්ගේ අවසන් තීරණය නවීඩ් නවාස් වෙත යොමු වී තිබෙනවා.

ඒ අනුව 2024 ජුලි මස පළමුවැනි දා සිට නවීඩ් නවාස් සිය නව ධුරයේ වැඩ බාර ගනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<