ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 6 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්විමට නියමිතයි.
මෙම තරගය සඳහා Colombo කණ්ඩායම සහ Jaffna කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
Colombo කණ්ඩායම
චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් අගනුවර කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු අසුන හිමිකර ගැනීමෙනුයි. ඔවුන් මෙම තරගාවලිය ආරම්භ කරන්නේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වන Jaffna කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලබා ගනිමිනුයි.
නමුත් ඔවුන් එතැන් සිට පිට පිට තරග 7ක් ජයග්‍රහණය කරමින් මේ කඩඉමට පිවිසෙනවා. ඒ අතර Jaffna කණ්ඩායම සමඟින් 2 වැනි වරට පැවැති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ද ඔවුන් සමත් වෙනවා.
මේ ආ ගමනේ දී අගනුවර කණ්ඩායමේ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ නායක චරිත් අසලංක. ඔහු තරග 6කට සහභාගී වෙමින් ශතක 2ක් සමඟින් ලකුණු 298ක් ලබා ගැනීමට සමත් වෙනවා.
චරිත් මෙවර තරගාවලියේ ලත් මෙම ලකුණු සංඛ්‍යාව, තරගාවලියේ පිතිකරුවෙක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.
ඊට අමතර ව දසුන් ශානක ද තරග 6ක දී ශතකයක් සමඟින් ලකුණු 220ක්, නුවනිඳු ප්‍රනාන්දු තරග 2ක දී ශතකයක් සමඟින් ලකුණු 199ක් සහ නිපුන් ධනංජය තරග 3ක දී ශතකයක් සමඟින් ලකුණු 164ක් ලබා ගන්නවා.
පන්දු යැවීමේ දී වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා වන්නේ 24 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර. ඔහු අගනුවර වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛයා වන්නේ තරග 8ක දී කඩුලු 17ක් ලබා ගනිමිනුයි.
ඔහුගේ මෙම දක්ෂතාව තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතර සම පළමු ස්ථානයට පත් දක්ෂතාව ද වූවා. ඔහු මෙන් ම මෙම තරගාවලියේ දී ගාල්ල කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ද කඩුලු 17ක් ලබා තිබෙනවා.
ඔහුට අමතර ව 23 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන කවිඳු නදීශාන් කඩුලු 10ක් ලබා ගනිමින් 2 වැනි ස්ථානයේ පසුවෙන අතර ඊට අමතර ව දසුන් ශානක ද කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
Colombo කණ්ඩායම් සංචිතය
චරිත් අසලංක (නායක), නුවනිඳු ප්‍රනාන්දු, විශාද් රන්දික (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, දසුන් ශානක, අශේන් බණ්ඩාර, චමිඳු වික්‍රමසිංහ, කවිඳු නදීශාන්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දිලුම් සුදීර, සහන් ආරච්චිගේ, කේශාන් වන්නිආරච්චි, ප්‍රමෝද් මධුශාන්, ශෙවෝන් ඩැනියෙල්, නිසල තාරක, ශෙෂාන් ප්‍රනාන්දු, චමත් ගෝමස්, හිමාෂ ලියනගේ, කවිඳු පතිරත්න, විහස් තෙව්මික, හිමේෂ් රාමනායක, අක්මල් ෆස්ලි, දිනුර කළුපහන, නිශාන් පීරිස්.
- Colombo සහ Jaffna අවසන් මහා තරගයට
- අපේ කෙල්ලන් එක්ක හැප්පෙන T20 නොරට්ටු
- සදීර ගේ ශතකය අපතේ යයි
- Semi Final දම්වැලක මුල් පුරුක “ගිහාන්”
- NSL පිටියට ශතක වැස්සක්
Jaffna කණ්ඩායම
යාපනය කණ්ඩායම මෙම තරගයට සුදුසුකම් ලබා ගන්නේ, තරග 8ක දී තරග 4ක් ජයග්‍රහණය කරමින් තරග 3ක් පරාජය වෙමින් සහ විසඳුමකින් තොරව තරගයක් ද නිමා කිරීමෙන් අනතුරුව යි.
කණ්ඩායමේ නායක ජනිත් ලියනගේ තරගාවලියේ තරග 4කට පමණක් සහභාගී වූ අතර ඔහු එම තරගවල දී ලකුණු 132ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
යාපනය කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ මොහොමඩ් ශමාස්. ඔහු තරග 8ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 251ක් ලබා ගනිමින් පෙරමුණ ගන්නේ තම කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ එක ම පිතිකරු බවට ද පත් වෙමිනුයි.
ඊට අමතර ව රොන් චන්ද්‍රගුප්ත අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 224ක් ද, සඳුන් වීරක්කොඩි අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 217ක් ද සහ හසිත බෝයගොඩ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 198ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
පන්දු යැවීමේ දී වඩාත් කැපී පෙණෙන යාපනය පන්දු යවන්නා වන්නේ ඉසිත විජේසුන්දර. එහු තරග 4ක දී කඩුලු 11ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගන්නවා. ඊට අමතර ව කල්හාර සේනාරත්න කඩුලු 7ක් ලබා ගනිමින් ද සහ ලහිරු මධුශංක කඩුලු 6ක් ලබා ගනිමින් මෙම ලැයිස්තු ව හා එක් වෙද්දී සඳුන් වීරක්කොඩි සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 5ක් බැගින් දවා ගනිමින් කණ්ඩායමේ මේ දක්වා වූ ගමනට සහයෝගය ලබා දුන්නා.
Jaffna කණ්ඩායම් සංයුතිය
ජනිත් ලියනගේ (නායක), මොහොමඩ් ශමාස්, හසිත බෝයගොඩ, රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, ලහිරු මධුශංක, ඉසිත විජේසුන්දර, කල්හාර සේනාරත්න, බිනුර ප්‍රනාන්දු, නිපුන් කරුණානායක, විජයකාන්ත් වියස්කාන්ත්, පුලින තරංග, ජෙෆ්රි වැන්ඩර්සේ, තරිඳු රත්නායක, නිපුන් මාලිංග, සංතුශ් ගුණතිලක, තීසාන් විතුසාන්, අසංක මනෝජ්, රවිඳු සෙම්බකුට්ටි, ඒශාන් මාලිංග, ට්‍රෙවීන් මැතිව්ස්.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.