අහන් සහ ඉසිත සුවිශේෂී කඩඉම්වලට

National Super League Limited Over Tournament 2024

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අද (27) කොළඹ දී සහ හම්බන්තොට දී ආරම්භ වුනා.

ඒ අනුව පැවැති තරගාවලියේ ආරම්භක දිනයේ දී තම පළමු පෙළ එක්දින තරගවල සුවිශේෂී කඩඉම් පසු කිරීමට අහන් වික්‍රමසිංහ සහ ඉසිත විජේසුන්දර සමත් වූවා.

Kandy කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු අහන් වික්‍රමසිංහ අද Galle කණ්ඩායමට එරෙහි ව ශතකයක් වාර්තා කළ අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 44ක මංගල ශතකයයි.

මේ අතර Jaffna කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර අද තම පළමු පෙළ එක්දින තරග පිටියේ හොඳම පන්දු යැවීම Colombo කණ්ඩායමට එරෙහි ව වාර්තා කිරීමට සමත් වූවා.

1 වැනි තරගය

  • Kandy සහ Galle අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් ගාල්ල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 259ක් ලබා ගත්තා. ඊට ප්‍රතිවාදී හඹා යන ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 15ක් ඉතිරි ව තිබිය දී ලකුණු 263ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

මහනුවර ඉනිමේ ලකුණු 21කට කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී ඉනිම ගොඩ ගැනීමට අහන් වික්‍රමසිංහ සහ කවීන් බණ්ඩාර සමත් වීම කැපී පෙණුනා. එහි දී ඔවුන් දෙදෙනා විසින් 4 වැනි කඩුල්ලට පන්දු 103ක දී ලකුණු 98ක සබඳතාවක් එක් කළා.

කවීන් බණ්ඩාර පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම සබඳතාව බිඳී ගියා.

අනතුරු ව පිටියට පිවිසි සම්මු අශාන් සහ අහන් වික්‍රමසිංහ 5 වැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කරනවා. සම්මු අශාන් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී යනවා.

අහන් වික්‍රමසිංහ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා සිටි අතර නායක චාමික කරුණාරත්න ද පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව මුදිත ලක්ෂාන් සහ ගරුක සංකේත් කඩුලු ද්විත්වය බැගින් ද අකිල ධනංජය කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ගාලු ඉනිම ආරම්භ කළ යශෝධ ලංකා සහ සොහාන් ද ලිවේරා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 75කදී ලකුණු 90ක සබඳතාවක් ගොඩ නගනවා. යශෝධ ලංකා පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව ගාලු ඉනිමට තවත් ලකුණු 35ක් එක් වෙද්දී සොහාන් ද ලිවේරා ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.

ගාලු ඉනිමේ ප්‍රධාන කඩුලු 3ක් ලකුණු 126කට දැවී ගිය පසුව සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කිරීමට ශෙහාන් ප්‍රනාන්දු සහ රවිඳු රසාන්ත සමත් වෙනවා.

ශෙහාන් ප්‍රනාන්දු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වෙනවා.

තරගය අවසන් වෙද්දී රවිඳු රසාන්ත සහ සනෝජ් දර්ශික 5 වැනි කඩුල්ලට පන්දු 91ක දී නොදැවුණ ලකුණු 72ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා. එහි දී රවිඳු රසාන්ත පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත් අතර සනෝජ් දර්ශික පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 43කට කඩුලු 2ක් දවා ගත් අතර තනුක දාබරේ ද කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – කඩුලු 9ක් දැවී 259 (50.0) අහන් වික්‍රමසිංහ 112, කවින් බණ්ඩාර 35, සම්මු අශාන් 28, චාමික කරුණාරත්න 43, ධනංජය ලක්ෂාන් 4/36, ගරුක සංකේත් 2/67, මුදිත ලක්ශාන් 2/30

Galle – කඩුලු 4ක් දැවී 263 (47.3) යශෝධ ලංකා 63, සොහාන් ද ලිවේරා 44, ශෙහාන් ප්‍රනාන්දු 35, රවිඳු රසාන්ත නොදැවී 56, සනෝජ් දර්ශික නොදැවී 36, ලසිත් ඇඹුල්දෙණිය 2/43

Galle කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

2 වැනි තරගය

  • Colombo සහ Jaffna අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් යාපනය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 271ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට Jaffna ක්‍රීඩකයෝ සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් අගනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ විශාද් රන්දික යි. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. ඊට අමතර ව දසුන් ශානක පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ද සහ අශේන් බණ්ඩාර පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර ලකුණු 60කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීමයි.

ඔහුට අමතර ව ජනිත් ලියනගේ, බිනුර ප්‍රනාන්දු සහ ලහිරු මධුශංක කඩුල්ල බැගින් දවා ගත්තා.

Jaffna පිළිතුරු ඉනිමේ දී පළමු කඩුල්ලේ දී හොඳ ආරම්භයක් ලබා ගැනීමට සඳුන් වීරක්කොඩි සහ රොන් චන්ද්‍රගුප්ත සමත් වුනා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 147ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී සඳුන් විරක්කොඩි පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙමින්. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තා.

රොන් චන්ද්‍රගුප්ත ලබා ගත් ලකුණු ප්‍රමාණය 63ක්. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් තම ඉනිමට ඇතුලත් කරනවා. ඊට අමතර ව නායක ජනිත් ලියනගේ පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 55කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ප්‍රමෝද් මධුශාන් කඩුලු 2ක් සහ නිශාන් පීරිස් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙට ලකුණු පුවරුව

Colombo – කඩුලු 8ක් දැවී 269 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 33, දසුන් ශානක 49, අශේන් බණ්ඩාර 44, විශාද් රන්දික 66, ප්‍රමෝද් මධුශාන් නොදැවී 27, ඉසිත විජේසුන්දර 5/60

Jaffna – කඩුලු 6ක් දැවී 271 (48.5) සඳුන් වීරක්කොඩි 73, රොන් චන්ද්‍රගුප්ත 63, හසිත බෝයගොඩ 29, ජනිත් ලියනගේ 44, මොහොමඩ් ශමාෂ් නොදැවී 20, ප්‍රමෝද් මධුශාන් 2/52, දිලුම් සුදීර 3/55

Jaffna කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගාවලියේ මීළඟ තරග මේ මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Colombo සහ Dambulla කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Kandy සහ Jaffna කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<