NSL පිටියට ශතක වැස්සක්

National Super League Limited Over Tournament 2024

325
National Super League Limited Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (24) අවසන් වූ අතර එහි දී ලසිත් කෲස්පුල්ලේ, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ සහ සහන් ආරච්චිගේ ශතක ලබා ගැනීමට සමත් වූවා.

මේ අතර Dambulla කණ්ඩායමේ දුශාන් හේමන්ත දිනයේ එක ම අර්ධ ශතකලාභියා බවට පත් වෙද්දී පන්දු යැවීමේ දී කසුන් රාජිත සහ නිපුන් රන්සික දක්ෂතා දැක් වූවා.

15 වැනි තරගය

  • Dambulla සහ Galle අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසිය ද ඔවුන්ට ඉනිම අවසන් කිරීමට හැකි වෙන්නේ නැහැ. වර්ෂාව හේතුවෙන් තරගය අතර මඟ දී නතර කිරීමට ඔවුන්ට සිදු වෙනවා.

ඒ වෙද්දී ඉනිමේ පන්දුවාර 48.4ක් නිමා වී තිබූ අතර ඔවුන් කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 303ක් ලබා සිටියා. එතැන් සිට තරගය නැවත ආරම්භ වෙන්නේ ප්‍රතිවාදීන්ගේ ඉනිම ආරම්භ කරමිනුයි. එහි දී ඔවුන්ගේ ඉනිම පන්දු 41.0කට සීමා වෙන අතර ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලෙසින් ගණනය වන්නේ ලකුණු 296ක්. නමුත් එම හඹා ගිය ඉනිමේ දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 108ක් පමණයි.

දඹුලු ඉනිම ආරම්භ කළ නිශාන් මධුශ්ක සහ ලසිත් කෲස්පුල්ලේ එක් ව පළමු කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් එක් කරනවා. ඒ පන්දු 69කට පමණක් මුහුණ දෙමින්. පළමු කඩුල්ල ලෙසින් නිශාන් මධුශ්ක පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා සිටිය දී දැවී යන අතර ලසිත් කෲස්පුල්ලේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 110ක් ලබා සිටියා.

ඊට අමතර ව දඹුලු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ඉනිමක් ගොඩ නැගිමට දුශාන් හේමන්ත සමත් වූවා. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා. දිනිරු අබේවික්‍රමසිංහ ද පන්දු 56කය මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ල පන්දු 82ක දී ලකුණු 82ක සබඳතාවක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී මුදිත ලක්ෂාන් ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත් අතර සනෝජ් දර්ශික සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් බැගින් ද මර්වින් අභිනාශ් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ රවිඳු රසාන්ත. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.

ඊට අමතර ව පසිඳු සූරියබණ්ඩාර පන්දු 19ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර මුදිත ලක්ෂාන් ද පන්දු 33ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

ගාලු ඉනිමේ තවත් පන්දු 97ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දවා ගනිද්දී කසුන් රාජිත ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙනවා. එම දක්ෂතාවත් සමඟින් ඔහු පළමු පෙළ එක්දින තරග දිවියේ 100 වැනි කඩුලු කඩඉමට පිවිසීමට ද සමත් වෙනවා.

ඊට අමතර ව ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් ද, දුශාන් හේමන්ත, සොනාල් දිනූෂ සහ මොහොමඩ් ශිරාස් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla – සියලුම දෙනා දැවී 215 (43.5) නිශාන් මධුශ්ක 36, ලසිත් කෲස්පුල්ලේ 110, දිනිරු අබේවික්‍රමසිංහ 47, දුශාන් හේමන්ත 65, දුනිත් වෙල්ලාලගේ 2/54, මුදිත ලක්ෂාන් 3/46, සනෝජ් දර්ශික 2/48

Galle – සියලුම දෙනා දැවී 108 (23.5) පසිඳු සූරියබණ්ඩාර 20, රවිඳු රසාන්ත 40, මුදිත ලක්ෂාන් 19, කසුන් රාජිත 4/42, ලක්ෂාන් සඳකැන් 2/09

Dambulla කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 187ක ජයක්.

16 වැනි තරගය

Colombo සහ Kandy අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 325ක් දවා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 320ක් පමණයි.

අගනුවර ඉනිම වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 164ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඔහුට අමතර ව අගනුවර ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නිපුන් ධනංජය ද ශතකයක් වාර්තා කළා. පන්දු 132කට මුහුණ දුන් ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වීම කැපී පෙණුනා.

කඩුලු දවා ගැනීමේ දී නිපුන් රන්සික ලකුණු 60කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වුනා. ඊට අමතර ව චාමික ගුණසේකර ද කඩුල්ලක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිමේ දී ද ශතක ද්විත්වයක් වාර්තා වෙනවා. එහි දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නේ නායක සහන් ආරච්චිගේ. ඔහු පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 120ක් ලබා ගන්නවා. එය ඔහුගේ 101ක් වන පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල ශතකයයි.

මහනුවර අනෙක් ශතකලාභියා වූයේ අහන් වික්‍රමසිංහ යි. ඔහු පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා. මෙම ශතකය ඔහු මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.

කඩුලු දවා ගැනීමේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 3ක් දවා ගත් අතර ප්‍රමෝද් මධුශාන් කඩුලු 2ක් ද, දිලුම් සුදීර, කවිඳු නදීශාන් සහ නිසල තාරක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Colombo – කඩුලු 5ක් දැවී 325 (50.0) නිපුන් ධනංජය 116, නුවනිඳු ප්‍රනාන්දු 164, චමිඳු වික්‍රමසිංහ 27, නිපුන් රන්සික 4/60 

 

Kandy – සියලුම දෙනා දැවී 320 (49.5) ලහිරු උදාර 39, අහන් වික්‍රමසිංහ 100, සහන් ආරච්චිගේ 120, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 18, ප්‍රමෝද් මධුශාන් 2/56, නුවනිඳු ප්‍රනාන්දු 3/63

 

Colombo කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

තරගාවලියේ මීළඟ තරග සැප්තැම්බර් මස 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Jaffna සහ Galle කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Dambulla සහ Kandy කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<