Colombo සහ Jaffna කණ්ඩායම්වලට ජය

National Super League Limited Over Tournament 2024

122
National Super League Limited Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (20) අවසන් වූනා. අවසන් වූ එම තරගවල දී Colombo කණ්ඩායමත් සහ Jaffna කණ්ඩායමත් ජයග්‍රහණ වාර්තා කළා.  

අගනුවර ක්‍රීඩකයෝ මේ ලැබුවේ තරගාවලියේ 5 වැනි ජයග්‍රහණය වන අතර ඒ සමඟින් ම ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ද හිමිකර ගැනීමට සමත් ව සිටිනවා.  

13 වැනි තරගය 

  • Dambulla සහ Colombo අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 215ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ එම ඉලක්කය තවත් පන්දු 39ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට සමත් වූවා.  

දඹුලු ඉනිමේ දී තරගයේ එක ම අර්ධ ශතකලාභියා වීමට 19 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු ගයන විරසිංහ සමත් වූවා. ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ලසිත් කෲස්පුල්ලේ පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ඔහු නිශාන් මධුශ්ක එකතු ව ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.  

නිශාන් මධුශ්ක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා. ඊට අමතර ව දිනිරු අබේවික්‍රමසිංහ පන්දු 30ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව නිසල තාරක ද කඩුලු 3ක් දවා ගන්නා ලද අතර නිශාන් පීරිස් කඩුලු 2ක් ද සහ චමිඳු වික්‍රමසිංහ කඩුල්ලක් ද දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අගනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක අශේන් බණ්ඩාර. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා. 

ඊට අමතර ව කවිඳු නදීශාන් නොදැවී ලකුණු 33ක් ද ශෙවෝන් ඩැනියෙල් සහ නිපුන් ධනංජය ලකුණු 32 බැගින් ද ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී කසුන් රාජිත සහ දුශාන් හේමන්ත කඩුලු 2 බැගින් දවා ගන්නා ලද අතර රවිඳු ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති සහ ලක්ශාන් සඳකැන් කඩුල්ල බැගින් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Dambulla – සියලුම දෙනා දැවී 215 (43.5) නිශාන් මධුශ්ක 25, ලසිත් කෲස්පුල්ලේ 30, ගයන වීරසිංහ 77, දිනිරු අබේවික්‍රමසිංහ 29, නිසල තාරක 3/43, දිලුම් සුදීර 3/27, නිශාන් පීරිස් 2/25 

 

Colombo – කඩුලු 7ක් දැවී 219 (43.3) නිපුන් ධනංජය 32, ශෙවෝන් ඩැනියෙල් 32, අශේන් බණ්ඩාර 39, කවිඳු නදීශාන් නොදැවී 33, කසුන් රාජිත 2/33, දුශාන් හේමන්ත 2/46 

 

Colombo කණ්ඩායමට කඩුලු 3ක ජයක්. 

14 වැනි තරගය 

Jaffna සහ Kandy අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය දිනා ගත් යාපනය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 140ක් පමණක් වන එම ඉලක්කය 15 වැනි පන්දුවාරයේ දී කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමින් සපුරා ගැනීමට යාපනය කණ්ඩායම සමත් වෙනවා.  

අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ සහන් ආරච්චිගේ. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව කමිල් මිෂාර පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා. කඩුලු දවා ගැනීමේ දී කල්හාර සේනාරත්න ලකුණු 32කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව නිපුන් මාලිංග සහ පුලින තරංග කඩුලු 2ක් බැගින් ද අසංක මනෝජ්, සඳුන් වීරක්කොඩි සහ ලහිරු මධුශංක කඩුල්ල බැගින් ද දවා ගත්තා. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 120ක සබඳතාවක් ගොඩ නැගීමට සඳුන් වීරක්කොඩි සහ රොන් චන්ද්‍රගුප්ත සමත් වෙනවා.  

එහි දී සඳුන් වීරක්කොඩි පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් ද සහ රොන් චන්ද්‍රගුප්ත පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද ලබා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Kandy – සියලුම දෙනා දැවී 140 (43.3) කමිල් මිෂාර 36, සහන් ආරච්චිගේ 38, කවින් බණ්ඩාර 21, නිපුන් මාලිංග 2/09, කල්හාර සේනාරත්න 3/32, පුලින තරංග 2/17 

 

Jaffna – කඩුල්ලක් දැවී 141 (14.1) සඳුන් වීරක්කොඩි 77, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 51 

 

Jaffna කණ්ඩායමට කඩුලු 9ක ජයක්. 

තරගාවලියේ මීළඟ තරග සැප්තැම්බර් මස 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Dambulla සහ Galle කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Colombo සහ Kandy කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.   

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<