සොහාන්, යශෝධ, ශමාෂ් සහ දිනුක දක්ෂතා දක්වයි

National Super League Limited Over Tournament 2024

3
National Super League Limited Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (08) අවසන් වූ තරගවල දී සොහාන් ද ලිවේරා, යශෝධ ලංකා සහ මොහොමඩ් ශමාෂ් සහ දිනුක ඩිල්ශාන් දක්ෂතා දැක් වීමට සමත් වූවා.

ගාල්ල කණ්ඩායම නියෝජනය කළ සොහාන් ද ලිවේරා සහ යශෝධ ලංකා යාපනය කණ්ඩායමට එරෙහි ව අර්ධ ශතක ඉනිම් ලබා ගත් අතර, යාපනය කණ්ඩායමේ මොහොමඩ් ශමාෂ් ගාල්ල කණ්ඩායමට එරෙහි ව අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර පිට පිට දෙවැනි වරටත් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමේ දිනුක ඩිල්ශාන් සමත් වුනා.

7 වැනි තරගය

• Galle සහ Jaffna අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165ක් වන අතර ඊට පිළිතුරු ඉනිමේ දී ගාලු ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 23ක් සහ පන්දු 5ක් ඉතිරි ව තිබිය දී කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

යාපනය ඉනිම වෙනුවෙන් මොහොමඩ් ශමාෂ් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා. ඊට අමතර ව නිපුන් කරුණානායක පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිනුක ඩිල්ශාන් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර, සනෝජ් දර්ශික, මුදිත ලක්ශාන් සහ අකිල ධනංජය කඩුලු ද්විත්වය බැගින් ද සහ ධනංජය ලක්ෂාන් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ගාලු ඉනිම වෙනුවෙන් පළමු කඩුල්ලට පිටියට පිවිසියේ යශෝධ ලංකා සහ සොහාන් ද ලිවේරා යි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 95ක දී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වූවා.

යශෝධ ලංකා පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් දැවී යෑමත් සමඟන් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. යශෝද ලංකා මේ ලබා ගත්තේ මෙවර තරගාවලියේ 2 වැනි අර්ධ ශතකයයි.

තරගය අවසන් වෙද්දී සොහාන් ද ලිවේරා පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා. එය සොහාන් ද ලිවේරා ගේ මෙම තරගාවලියේ පළමු අර්ධ ශතකයයි.

ඊට අමතර ව ජනිශ්ක පෙරේරා පන්දු 32කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 15ක් ලබා ගත්තා.

ගාලු ඉනිමේ දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය කල්හාර සේනාරත්න සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – සියලුම දෙනා දැවී 165 (42.0) සඳුන් වීරක්කොඩි 28, නිපුන් කරුණානායක 34, මොහොමඩ් ශමාෂ් 50, කල්හාර සේනාරත්න 22, දිනුක ඩිල්ශාන් 3/19, අකිල ධනංජය 2/41, මුදිත ලක්ශාන් 2/26, සනෝජ් දර්ශික 2/17

 

Galle – කඩුල්ලක් දැවී 168 (26.1) යශෝධ ලංකා 62, සොහාන් ද ලිවේරා නොදැවී 74, ජනිශ්ක පෙරේරා නොදැවී 15

 

Galle කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

8 වැනි තරගය

Kandy සහ Dambulla අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩකයෝ තවත් පන්දු 72ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

දඹුලු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ගයන වීරසිංහ යි. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඊට අමතර ව දිනිරු අබේවික්‍රමසිංහ ලකුණු 27ක් ද සහ චමිඳු විජේසිංහ ලකුණු 25ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව සහන් ආරච්චිගේ, ලසිත් ඇඹුල්දෙණිය සහ නිපුන් රන්සික කඩුලු 2ක් බැගින් ද සහ යොහාන් මද්දගේ කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් කවින් බණ්ඩාර පන්දු 53ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නිමේෂ් විමුක්ති සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් බැගින් ද සහ ලසිත් කෲස්පුල්ලේ, ගයන වීරසිංහ සහ ටිලංග උදේශන කඩුල්ලක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla – සියලුම දෙනා දැවී 182 (43.2) පුලිඳු පෙරේරා 22, ගයන වීරසිංහ 30, අංජල බණ්ඩාර 19, චමිඳු විජේසිංහ 25, දිනිරු අබේවික්‍රමසිංහ 27, දුශාන් හේමන්ත 21, චාමික කරුණාරත්න 3/32, නිපුන් රන්සික 2/28, ලසිත් ඇඹුල්දෙණිය 2/28, සහන් ආරච්චිගේ 2/24

 

Kandy – කඩුලු 7ක් දැවී 187 (38.0) සිතාර ගිම්හාන් 45, පැතුම් කුමාර 28, කවින් බණ්ඩාර 48, නිමේෂ් විමුක්ති 2/20, ලක්ශාන් සඳකැන් 2/34

 

Kandy කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තරගාවලියේ මීළඟ තරග මේ සැප්තැම්බර් මස 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Colombo සහ Galle කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Jaffna සහ Dambulla කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<