ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (28) අවසන් වූ අතර එහි දී සදීර සමරවික්‍රම ශතකයක් ලබා ගැනීමට සමත් වූවා.
ඊට අමතර ව පිතිකරුවන් අතුරින් Galle කණ්ඩායමේ සනෝජ් දර්ශික, Jaffna කණ්ඩායමේ හසිත බෝයගොඩ සහ Kandy කණ්ඩායමේ කවින් බණඩාර අර්ධ ශතක ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Galle කණ්ඩායමේ මර්වින් අභිනාශ් ලකුණු 42කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර අද පැවැති තරග අතුරින් Jaffna සහ Galle අතර තරගයේ දී ගාලු ක්‍රීඩකයන් ලත් පරාජයත් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූවා. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් වූ යාපනය ක්‍රීඩකයෝ 2 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි එම ලැයිස්තුවේ පළමු ස්ථානය තව දුරටත් කොළඹ ක්‍රීඩකයන් හිමිකර ගනිමින් සිටිනවා.
17 වැනි තරගය
- Jaffna සහ Galle අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 295ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සදීර සමරවික්‍රම.
ඔහු අද තම පළමු පෙළ එක්දින පිටියේ 150 වැනි තරගයට සහභාගී වූ අතර එහි දී පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා. එය ඔහුගේ එම තරග දිවියේ 7 වැනි ශතකයයි.
සධීර සමරවික්‍රම, සනෝජ් දර්ශික හා එක් වෙමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131කට මුහුණ දෙමින් ලකුණු 135ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූවා. එහි දී සනෝජ් දර්ශික පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.
ඊට අමතර ව පසු පෙළින් පිටියට පිවිසි ලහිරු සමරකෝන් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ඔහු සහ මුදිත ලක්ෂාන් (16) 9 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූවා.
කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර, සඳුන් වීරක්කොඩි, ලහිරු මධුශංක, ඒශාන් මාලිංග සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන්ගේ ඉනිම පන්දුවාර 45.0ක් නිමාවේ දී කඩා වැටුණ වර්ෂාව හේතුවෙන් නතර කිරීමට සිදු වූවා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 262ක් ලබා සිටි අතර, තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කිරීමේ දී එය ලකුණු 4ක් අභිබවා ගොස් තිබුණා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හසිත බෝයගොඩ. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක ජනිත් ලියනගේ ද පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 88ක දී ලකුණු 101ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වූවා. තරගය අවසන් වෙද්දී ඉසිත විජේසුන්දර පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මර්වින් අභිනාශ් ලකුණු 42කට කඩුලු 4ක් දවා ගත් අතර ලහිරු සමරකෝන්, සනෝජ් දර්ශික සහ ධනංජය ලක්ෂාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Galle – සියලුම දෙනා දැවී 295 (49.1) සදීර සමරවික්‍රම 109, සනෝජ් දර්ශික 67, ලහිරු සමරකෝන් 30, සඳුන් වීරක්කොඩි 2/34, ඉසිත විජේසුන්දර 2/24, එශාන් මාලිංග 2/58, ලහිරු මධුශංක 2/43, විජයකාන්ත් වියස්කාන්ත් 2/68
Jaffna – කඩුලු 7ක් දැවී 262 (45.0) සඳුන් වීරක්කොඩි 23, හසිත බෝයගොඩ 64, ජනිත් ලියනගේ 48, නිපුන් කරුණානායක 28, ඉසිත විජේසුන්දර නොදැවී 33, මර්වින් අභිනාශ් 4/24
Jaffna කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක ජයක්.
- NSL පිටියට ශතක වැස්සක්
- ප්‍රභාත්ගේ කඩුලු 9ත් සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- Colombo සහ Jaffna කණ්ඩායම්වලට ජය
- කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- Tier B ශූරතාව Galle CC දිනා ගනී
18 වැනි තරගය
Dambulla සහ Kandy අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් දඹුලු කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 185ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දුවාර 10ක් පමණයි.
එහි දී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලබා ගන්නා ලද අතර ඒ සමඟින් පැවැති වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 22ක් වෙද්දී හරවා යැවීමට දඹුලු පන්දු යවන්නෝ සමත් වුනා. අනතුරු ව 5 වැනි කඩුල්ල සඳහා එක් වූ නායක සහන් ආරච්චිගේ (16) සහ කවින් බණ්ඩාර ලකුණු 31ක සබඳතාවක් ගොඩ නගනවා.
ඊට අමතර ව ඊට පසු කඩුල්ලේ දී ද පන්දු 61කට ලකුණු 51ක සබඳතාවක් ගොඩ නගමින් කණ්ඩායම වැටී සිටි මට්ටමෙන් තරමක් ගොඩ ගැනීමට වනුජ සහන් (28) සහ කවින් බණ්ඩාර සමත් වෙනවා.
මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කවින් බණ්ඩාර යි. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනිමේ දී වනිඳු හසරංග ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහු ලකුණු 53කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව මොහොමඩ් ශිරාස්, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත කඩුලු 2ක් බැගින් ද සහ ලසිත් කෲස්පුලේ කඩුල්ලක් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දඹුලු ඉනිම අතර මඟ නතර කරන විට නිශාන් මධුශ්ක පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.
දැවී ගිය කඩුලු 2 හිමිකාරීත්වය නිපුන් රන්සික සහ වනුජ සහන් අතරේ බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Kandy – සියලුම දෙනා දැවී 185 (43.4) කවින් බණඩාර 77, වනුජ සහන් 28, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 17, කසුන් රාජිත 2/39, මොහොමඩ් ශිරාස් 2/15, ලක්ෂාන් සඳකැන් 2/29, වනිඳු හසරංග 3/53
Dambulla – කඩුලු 2ක් දැවී 49 (10.0) නිශාන් මධුශ්ක නොදැවී 31
තරගයේ විසඳුමක් නෑ.
තරගාවලියේ මීළඟ තරග ඔක්තෝබර් මස 02 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Colombo සහ Galle කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Dambulla සහ Jaffna කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<