මෙරට ක්‍රීඩාව පිලිබඳ තීරණ ගන්නා ප්‍රධාන ස්ථානය වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයයි. ඒ හැරුණුවිට ඔලිම්පික් ව්‍යාපාරයට (Olympic Movement) අයත් සියලු ක්‍රීඩා වල පරිපාලන කටයුතු සිදුවන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හැඳින්විය හැකියි. දේශපාලන ඇඟිලිගැසීම් වලින් තොරව පරිපාලන කටයුතු සිදු කරගෙන යාම සඳහා මෙරට වැඩිම අවස්තාවක් හිමිවන ක්‍රීඩා පරිපාලන දේහයක් ලෙසද ජාතික ඔලිම්පික් කමිටුව හැඳින්විය හැකියි.
වසර ගණනාවක් පුරා එකම පරිපාලකයන් යටතේ පාලනය වූ ජාතික ඔලිම්පික් කමිටුව තුල අයථා සිදුවීම් පවතින බව වරින් වර ජනමාධ්‍ය මගින් හෙළිදරවු කෙරුනද ඒවා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොකෙරුනේ ලොව ක්‍රීඩා පරිපාලනයේ මහා බලවතා වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් සාමාජික රටවල් වල ජාතික ඔලිම්පික් කමිටු වල කටයුතු ස්වාධීනව කරගෙන යාම සඳහා ඒවායේ නිලධාරී මණ්ඩලයට ලබාදී ඇති බල තල හේතුවෙන් විය හැකියි. කෙටියෙන්ම කියතොත් ජාතික ඔලිම්පික් කමිටුවක නිලධාරීන් සිදු කරන නොමනා ක්‍රියාවකට එරෙහිව රටක ක්‍රීඩා අමාත්‍යංශය යම් පියවරක් ගතහොත් එරට ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙලකදී තම රටේ ධජය යටතේ තරග කිරීම තහනම් වන තැනටම පත් කිරීමට තරම් බලයක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සතුව පවතියි.
කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා ජාතික ඔලිම්පික් කමිටුව සිදුකල නොමනා ක්‍රියා රැසක් එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින්ම පසුගියදා හෙළි කරන ලදී. නමුත් ඔහු මහා වීර ක්‍රියාවක් පරිද්දෙන් තමන් සහ තම සගයන් සිදුකල අයථා ක්‍රියාවන් හෙළි කළේ ජගත් ඔලිම්පික් කමිටුවේ ආරක්ෂාව යටතේ තමන් මෙරට ක්‍රීඩාවේ සර්වබලධාරී තැනැත්තකු බව කිසිදු පිළිකුලකින් තොරවම විදහා දක්වමිනුයි.
පසුගිය රියෝ ඔලිම්පික් උළෙලට දිනේෂ් වීරවංශ නම් පුද්ගලයෙකු කිමිකෝ රහීම් ක්‍රීඩිකාවගේ පුහුණුකරු ලෙස අවසරපත් සකසමින් රැගෙන ගිය සිදුවීම පිලිබඳ, ක්‍රීඩා අමාත්‍යවරයාද සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී වාර්තාකරුවන් ඔලිම්පික් කමිටු සභාපති වරයාගෙන් ප්‍රශ්නකර සිටියා. එහිදී ඔහුගේ ප්‍රතිචාරය වුනේ දිනේෂ් වීරවංශ නම් පුද්ගලයා තමාව රියෝ ඔලිම්පික් උළෙලට කෙසේ හෝ ගෙන යන ලෙස වරින් වර කරදර කිරීම නිසා පුහුණුකරුවකු ලෙස දක්වමින් හෝ ඔහුව රැගෙන යන ලෙස තමන් පැවසු බවයි.
සභාපතිවරයා එසේ පැවසුවත් දිනේෂ් වීරවංශ තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ ඔහු මීට පෙර පවතී ඔලිම්පික් උළෙල 4කට ද සහභාගී වී ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ හේමසිරි ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටු සභාපති ලෙස පත්වූ කාලයේ සිටම දිනේෂ් වීරවංශ හට විශේෂ කරුණාවක් දක්වා ඇති බවයි. තමන්ට හිමිව ඇති බලතල අනිසි ලෙස භාවිතා කල එකම අවස්තාව එය නොවන බවත් මේ සාකච්ඡාවේ ඉදිරි ප්‍රශ්න වලින් හෙළිදරවු විය.
මෙවර රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා (chef de mission) ලෙස කටයුතු කලේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතායි. එම පත් කිරීම කෙලෙස සිදු කල යුතු දැයි කිසිදු ස්ථානයක සඳහන් නොවන බැවින් මැක්ස්වෙල් සිල්වා මහතාගේ පත් කිරීම නීති විරෝධී නොවන බව හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. එහිදී එවන් පත් කිරීමක් කෙතරම් සදාචාරසම්පන්න දැයි මාධ්‍යවේදීන් විමසා සිටියදී ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ ප්‍රතිචාරය වුනේ ක්‍රීඩාව තුල සදාචාරයක් පවතින බව තමන් නොදන්නා බවයි. එමෙන්ම මෙතෙක් කාලයකට සදාචාරය තරමක් දුරට හෝ ආරක්ෂා කර ඇත්තේ ඔලිම්පික් කමිටුව පමණක් බවයි ඔහු පවසන්නේ.
— ඔලිම්පික් ව්‍යාපාරය ලොව බිහිවුනේ ක්‍රීඩාව තුලින් වටිනාකම් වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. එවන් වටිනා ව්‍යාපාරයක මෙරට ප්‍රධානියා ක්‍රීඩාව තුල සදාචාරය රැකිය යුතු බව නොදන්නෙකු වීම කොතරම් අභාග්‍යක්ද?—
සියල්ල තමන්ට සහ තම හෙංචයියන්ට යන න්‍යාය පෙරදැරි කරගෙන ඔලිම්පික් කමිටු මහලේකම් වරයා ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී ලෙස රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම අමාරුවෙන් හෝ සාධාරනීයකරණය කළා යයි මොහොතකට සිතමු. ඔහු රියෝ නුවරදී තම රාජකාරිය ඉටු කලාද? පිළිතුර රතු අකුරින් ලොකුවට ලියු ”නෑ” යන්නකි. කලබල විය යුතු නැත. කණ්ඩායම් ප්‍රධානියකු යනු වර්තමාන බස් වහරින්ම කියතොත් ” ආතල් ගන්නෙකු” පමණක් වන බව වසර 22ක ඉතිහාසය තුල හේමසිරි ප්‍රනාන්දු මහතා ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.
”ඕක කවුරු ගියත් ඔහොම තමයි. තමන් යටතේ ඉන්න කෙනෙක්ට තමුසේ ඕක බලාගන්නවා කියලා ඉන්නවා. මම ගියත් එහෙමයි. මමත් එහෙම කරලා තියනවා” ඔව් විශ්වාස කරන්න මේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානියාගේ වචනයි.
ඔව්… එම වචන මෙරට ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානියාගේ මුවින් නික්මුණු බව දැන් විශ්වාස කල යුතුව ඇත. ඉතින් තවදුරටත් අපි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු වෙමුද? ක්‍රීඩා අමාත්‍යවරයා 2020 සහ 2024 ඔලිම්පික් පදක්කම් කරා යන සැලැස්මක් සකස් කර ඇතත් මෙවන් නිලධාරීන් පුටු රත්කරන තාක් කල් එම සැලසුම් දවල් හීන හැර අන් කවරක් බවට පත් වෙයිද?
හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පාලන සාමය තුල පැවති ඔලිම්පික් උළෙල 5 සහ අනෙකුත් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන්ට මූල්‍ය ප්‍රදානයන් සිදුකල ආකාරය පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කිහිපයක් යොමු විය. මාධ්‍යවේදීන් නොවන ඔවුන්ගේ හිතවතුන්ටත් මාධ්‍යවේදීන් ලෙස පෙන්වාදෙමින් මූල්‍යාධාර ලබාදීමත් ක්‍රීඩා වාර්තාකරණය සඳහාම කැපවූ මාධ්‍යවේදීන් අමතක කිරීමත් පිලිබඳ කල ප්‍රශ්න කිරීමකදී සභාපතිවරයා ඊට අගනා විසඳුමක් ලබා දුන්නේ මෙලෙසින්. ” ඉතින් ඔයත් අපිත් එක්ක හිතවත් වෙන්න. එතකොට ඔයාටත් දෙන්නම්”…. අනර්ඝයි – ඔලිම්පික් කමිටුව රැකගෙන ඇති සදාචාරය.
තමන්ට රිසි පරිදි කට මැත දෙඩීමෙන් පසු ඔලිම්පික් කමිටු සභාපතිවරයා පිටව ගිය අතර ඒ සියල්ල බලා සිටි ක්‍රීඩා අමාත්‍යවරයා තම හඬ අවදි කලේ මෙලෙසින්
1997 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සර්වබලධාරියා ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු නඩය තමන්ගේ බලය අනිසි ලෙස භාවිත කරන්නේ එවක් පටන් සිටි සියලු ක්‍රීඩා අමාත්‍යවරුන්ට ඇඟිලි ගැසිය හැකි සීමාව පිලිබඳ හසල දැනුමක්ද සහිතවයි. කෙසේවෙතත් වසර ගණනාවක් පුරා ක්‍රීඩා අමාත්‍යවරුන් ගණනාවක් තම අල්ලේ නැටවූ හේමසිරි ප්‍රනාන්දු මහතාට මෙවර හීන් නූලෙන් වැඩක් දෙන්නට දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා සමත්ව තිබේ. ඒ ක්‍රීඩා පනතට එකතු කල නව නියෝග මාලාවට ක්‍රීඩා සංගම් නිලධාරියෙක් ලෙස පත්විය හැකි උපරිම වයස් සීමාව අවුරුදු 70 දක්වා අඩු කරමිනි. තමන් නැවත ඔලිම්පික් කමිටු සභාපති තනතුරට තරග නොවදින බව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී උජාරුවෙන් පැවසු නමුත් හේමසිරි ප්‍රනාන්දු මහතා එම තනතුරට පත්විය හැකි වයස් සීමාව ඉක්මවා ඇති බව ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රවීණයෝ කවුරුත් දනිති.
එබැවින් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩාවේ නරාවල පිරිසිදු කිරීම සඳහා මහඟු අවස්තාවක් ළඟදීම හිමිවනු ඇති. එම අවස්ථාවත් අපතේ යන්නට හරිමින් සර්වබලධාරී තනතුරු වලට අවස්ථාවාදී පුද්ගලයන්ට රිංගීමට ඉඩ දුනහොත් 2024 දී නොව 2100 දී වත් ඔලිම්පික් පදක්කමක් පිළිබඳව නම් බලාපොරොත්තු තබාගත නොහැකි වනු ඇති.
මන්ද ”වැටත් නියරත් ගොයම් කා නම් ඒ අමාරුව පවසන්නට පඹයා වත් ඉතිරි නොවන බැවිනි”