ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම්වලට ‘බකට්‌’ එකක්‌

405
National netball

ආසියානු කුසලාන ඉලක්‌කය වෙනුවෙන් පුහුණුවීම්වල නිරතව සිටි ජාතික දැල්පන්දු සංචිතය, පුහුණුවීම් කළ ස්‌ථානය දැල්පන්දු තේරීම් කමිටු සභාපතිනිය විසින් වෙනත් කටයුත්තක්‌ සඳහා ලබා ගැනීමෙන් ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවකට පෙරේදා (17 දා) පත්වූ බව වාර්තා වේ.

පෙරේදා (17 දා) ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පෙරවරු කාලයේදී 30 දෙනකුගෙන් යුත් ජාතික දැල්පන්දු සංචිතය පුහුණුවීම් කරමින් සිටින අතරතුර පැමිණි ජාතික දැල්පන්දු තේරීම් කමිටු සභාපතිනිය වෙනත් කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයේ පුහුණුවීම් කිරීම අවශ්‍ය බව පවසා ජාතික කණ්‌ඩායමේ පුහුණුවීම් අතරමඟ නවතා තිබේ. එම හේතුවෙන් කණ්‌ඩායමට විශාල වේලාවක්‌ එහි රැඳී සිටිමින් දැඩි අපහසුතාවකට පත්වීමට සිදුවූ බව අදාළ සංචිතයේ ක්‍රීඩිකාවන් ‘දිවයින’ ට පැවසුවාය.

නව දැල්පන්දු තේරීම් කමිටුව අහෝසි කරමින් චන්ද්‍රdනි පතිරාජා මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් හිටපු දැල්පන්දු තේරීම් කමිටුවට යළිත් ජාතික දැල්පන්දු තේරීම් භාර දීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබියදීත් තේරීම් කමිටු සභාපතිනිය මෙසේ කිරීම පිළිබඳව කණ්‌ඩායමේ සියලූම ක්‍රීඩිකාවන් විමතිය පළ කළ බවද අදාළ ක්‍රීඩිකාව වැඩිදුරටත් පැවසුවාය. එළැඹෙන ආසියානු කුසලාන සංචිතය තේරීම චන්ද්‍රානි මහත්මියගේ තේරීම් කමිටුව විසින් සිදු කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ක්‍රීඩා විද්‍යායතනය විසින් පවත්වනු ලබන විශේෂ වෘත්තිය පුහුණු පාඨමාලාවක්‌ හදාරන කණ්‌ඩායමක්‌ මෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කර ඇති අතර එම පුහුණුවීම් දැල්පන්දු තේරීම් කමිටු සභාපතිනියගේ මූලිකත්වයෙන් සිදුවීම හේතුවෙන් ජාතික සංචිතය අපහසුතාවකට පත්ව ඇතැයි තවදුරටත් වාර්තා වේ.

ලබන අගෝස්‌තු මස පැවැත්වෙන ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සඳහා අවසන් 16 දෙනකු තෝරා ගැනීමේ පුහුණු තරග ලබන 20 පැවැත්වීමට යෙදී තිබුණත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එදින තේරීම් නොපැවැත්වීමට කටයුතු යෙදී තිබෙන නමුත් 24 සහ 25 යන දිනවල නියමිත පරිදි ගම්පහ රත්නාවලි විදුහල් ක්‍රීඩාංගණයේදී අදාළ තේරීම් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

 තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න