ක්‍රීඩිකාවන් 30කින් සමන්විත ජාතික දැල්පන්දු සංචිතයක්

510

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය (SLNF) මඟින් පසුගිය 20 වන දින පැවැත්වූ තේරීම් කටයුතු හරහා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සඳහා ක්‍රීඩිකාවන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට කටයුතු කර ඇත.

දැල්පන්දුවේ පුහුණුකාරිත්වයට නව මුහුණක්

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය නිල වශයෙන් පත් කර ඇත.

කලකට ඉහත දී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු තලය තුළ ඉහළින්ම සිටි කණ්ඩායම වුවත් පසුගිය කාලය පුරාවට ඔවුන් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් සිංගප්පූරු සහ මැලේසියානු කණ්ඩායම් ශ්‍රී ලංකාව අභිබවමින් ඉදිරියට යන ආකාරය අපට දැකගත හැකි විය. ඒ අනුව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය මේ වන විට නැවතත් ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව පෙර තිබූ තත්වයට නඟා සිටුවීමට වෙර දරමින් සිටී.

ඒ අනුව මීට මාසයක පමණ කාලයකට ඉහත දී ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය පත්කරන ලදි.

ඒ අනුව තෝරාගත් ක්‍රීඩිකාවන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ගයනි දිසානායක සහ තර්ජිනී සිවලිංගම් ඇතුළත්ව ඇති අතර ඔවුන් දෙදෙනාම මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා ඇත. ඒ අනුව ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාවන් අතරින් කෙනෙක් ලෙස සැලකෙන 34 හැවිරිදි තර්ජිනී හට වසරක 4ක කාලයකින් පසුව නැවතත් ජාතික කණ්ඩායමට එක්වීම සඳහා අවස්ථාව හිමි වී ඇත. ඇය අවසන් වරට ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ 2014 වසරේ දී ය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට සහභාගී වූ ප්‍රධානතම තරගාවලිය වන 2016 වසරේ ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙමින් එහි අනුශූරතාවය දිනාගත් කණ්ඩායම නියෝජනය කළ ගයාන්ජලී අමරවංස, දුලංගා ධනංජි, ධර්ශිකා අබේවික්‍රම, තිලිණි වත්තේගෙදර, සුරේකා කුමාරි ගමගේ, තිවංකා පෙරේරා, ගයනි දිසානායක සහ රුවිනි යටිගම්මන යන ක්‍රීඩිකාවන් මෙම සංචිතයේ ද සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත්ව ඇත.  

එමෙන්ම මරිසා ප්‍රනාන්දු සහ තිෂලා අල්ගම ද කණ්ඩායම සඳහා වෙන්කර ඇතත්, ඔවුන්ගේ තේරීම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය මත රඳා පවතිනු ඇත.

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් දෙපළක් වන දීපිකා දර්ශනී සහ හිටපු පුහුණුකාරිනී දීප්ති අල්විස්ගේ දියණිය සේමිණී අල්විස් මෙම සංචිතය සඳහා තේරී පත්වීමට අපොහොසත් වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කළ මන්දිරා චාරුණී, කවීනා රාජපක්ෂ, මෙලනි විජේසිංහ, සුසීමා බණ්ඩාර සහ තරුෂි ඉලංගරත්න යන ක්‍රීඩිකාවන් තේරීමේ කටයුතු සඳහා සහභාගී නොවීම නිසා මෙම සංචිතයට තේරී පත්වීමට සුදුසුකම් ලැබුවේ නැත.

“ආසියාවේ දක්ෂයින් සිටින්නේ ශ්‍රී ලංකාවේ” – ජිනදාස

ශ්‍රී ලංකාව තුළ දක්‍ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩිකාවන් රාශියක් සිටියත්, වර්තමානයේ ශ්‍රී ලංකාව..

ඒ අනුව සචිනි රොද්‍රිගු හැරුණුකොට පසුගිය වසරේ දී බොස්ට්වානා හිදී පැවති යොවුන් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් කිසිවෙක් මෙම සංචිතය සඳහා සුදුසුකම් ලබා නොමැත.

සංචිතය

ලක්මාලි බණ්ඩාර, දුලංගා ධනංජි, දුලාංගි වන්නිතිලක, ඔමේධා දිල්රුක්‍ෂි, සේනානි පාලිකා, අකිලා සංජී, ශාමලී රත්නායක, හසිතා මෙන්ඩිස්, ගයාන්ජලී අමරවංස, සචිනි රොද්‍රිගු, මදුමාලි සිංහබාහු, හේමමාලි දමයන්ති, එච්. දේශානි, තරිජිනී සිවලිංගම්, දර්ශිකා අබේවික්‍රම, තිලිණි වත්තේගෙදර, සුරේකා කුමාරි ගමගේ, ගයාන්ති කෞෂල්‍යා, චතුරංගි ජයසූරිය, රෙසුරි විජේසුන්දර, එස්. පී. එල්. චන්ද්‍රසිරි, දුශානි බණ්ඩාර, තිවංකා පෙරේරා, ගයනි දිසානායක, රුක්ෂලා හපුආරච්චි, රුවිනි යටිගම්මන, එන්. ලක්මාලි, නෞචාලි රාජපක්ෂ, විදානි මදූෂනා, ටී. එම්. සුදුසිංහ

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<