2024 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (15) පැවැත්වුණු තරග ඉසව්වල දී නව කනිෂ්ඨ ජාතික වාර්තා කිහිපයක් ම බිහි වුනා.
බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ මදුශානි හේරත් විසින් ඊයේ දිනයේ දී වයස අවුරුදු 20න් පහළ කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් මීටර් 6.32ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, මීට පෙර ඇය විසින් ම පිහිටුවා තිබූ මීටර් 6.09ක වාර්තාවයි මෙහි දී බිඳ වැටුණේ.
එමෙන්ම ඇය විසින් මේ සමඟ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පරිසාධන මට්ටම වූ මීටර් 6.20 ඉක්මවා යාමට සමත් වීමත් විශේෂත්වයක්.
මෙය මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තා දුර පැනීම ඉසව්වෙන් දැක්වූ තෙවැනි ඉහළම දක්ෂතාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.
මේ අතර වත්තල ලයිසියම් විද්‍යාලය නියෝජනය කරමින් පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ තරුෂ මෙන්ඩිස් මීටර් 2.14ක උසක් තරණය කරමින් නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, ඔහු විසින් මෙහි දී බිඳ හෙළුවේ මීට වසර 23කට පෙර මංජුල කුමාර විජේසේකර විසින් පිහිටවූ වාර්තාවක් වීම විශේෂත්වයක්.
තවමත් 16 හැවිරිදි වියේ පසුවන තරුෂ මෙම දක්ෂතාවත් සමඟින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සුදුසුකම් ලබා ගත්තා.
- වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
- මීටර් 800 සහය දිවීමේ වැඩි ගෞරව වළල ඒ රත්නායක විද්‍යාලයට
- Ritzbury සහය දිවීමේ සැණකෙළිය උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
එමෙන්ම පානදුර රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් බිහි කිරීමට ජයවි රන්හිඳ අල්විස් විසින් සමත් වූ අතර, මීටර් 16.69ක දුරක් සමඟින් ඔහු විසින් මීට වසර 19කට පෙර 2005 වසරේ දී ඔෂාන් රන්ජිත් විසින් පිහිටවූ වාර්තාවකුයි බිඳ හෙළීමට සමත් වුනේ.
මීට අමතරව 23න් පහළ කාන්තා මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ K.ශානිකා ලක්ෂානි විසින් සමත් වූ අතර 23න් පහළ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්ව මීටර් 70.86ක දක්ෂතාවක් සමඟ ජයග්‍රහණය කිරීමට තාරුක නවෝන්ට හැකියාව ලැබුණා.
23න් පහළ කාන්තා මීටර් 400 ඉසව්ව සයුරි මෙන්ඩිස් විසින් ජයග්‍රහණය කරද්දී, 23න් පහළ පිරිමි මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුද හමුදාවේ චලිත් පියුමාල්ට හැකියාව ලැබුණා.
<< මේ දක්වා සම්පූර්ණ තරග ප්‍රතිඵල>>
කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>