ගෙවුණු වසරේ ක්‍රීඩා මතක සටහන්

2024 Sports Roundup

118

2024 වසර දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙනුත් ක්‍රීඩාවේ විශේෂ සිදුවීම් රැසකට හේතු වූ වර්ෂයක් ලෙස හඳුන්වාදිය හැකි. මේ නිසාම 2024 වසරේ දී දෙස් විදෙස් ක්‍රීඩා පිටිය වෙත නැවත හැරී බැලීමක් සිදු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බව ThePapare අපට අවබෝධ වුනා.

නිමා වූ වසරේ ලොව ඉහළම අවධානයක් දිනා ගත් ක්‍රීඩා උත්සවය බවට පැරිස් ඔලිම්පික් උළෙල පත් වූ බව නොරහසක්. එමෙන්ම මෙම ඔලිම්පික් උළෙල ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට ද සුන්දර මතක එක් කළ එකක් බවට පත් කිරීමට අරුණ දර්ශන විසින් සමත් වුනා.

අපි සූදානම් ගෙවුණු වසරක අතීතයේ දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ මතක නැවතත් අවදි කරන්න.

පාපන්දුව

2024 වසර ආරම්භ වීමත් සමඟම 2023 AFC Asian Cup පාපන්දු තරගාවලිය ද ආරම්භ වුණා. තරගාවලිය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් අතර, එහි දී විශේෂයෙන්ම ජෝර්දානය, දකුණු කොරියාව සහ සත්කාරක කටාර් දේශය තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා. ඒ අතරිනුත් දකුණු කොරියාව විසින් තරගාවලියේ තමන් මුහුණ දුන් බොහෝ තරග අවසන් මිනිත්තු කිහිපයේ ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විශේෂ සිදු වීමක්. කෙසේ වෙතත් තරගාවලිය අවසානයේ කුසලානය ජයග්‍රහණය කිරීමට සත්කාරක කටාර් දේශය විසින් සමත් වුනා. ඔවුන් ජෝර්දානයට එරෙහිව ගෝල 3-1ක ජයක් වාර්තා කරමින් ශූරතාව හිමි කරගත්තා.

මේ අතර 2024 වසර ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාවට ද තරමක් විශේෂ වසරක් බවට පත් වුනා. මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු 2024 FIFA Series තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් භූතානයට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම තරගයේ දීම ශ්‍රී ලංකා පාපන්දුව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ හිටපු නායක මොහොමඩ් ෆසාල් සිය වසර 16ක පාපන්දු ක්‍රීඩා ජීවිතයට සමුදීමට තීරණය කිරීමත් විශේෂත්වයක්. මෙම තරගය විශාල ප්‍රේක්ෂක ජනකායක් මධ්‍යයේ පැවැත්වුණු අතර, එහි දී ෆසාල්ට විශේෂ සමුගැනීමක් ද හිමි වුනා. එමෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව විසින් කාම්බෝජයට එරෙහිව ද ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේ දී මියන්මාරයට එරෙහිව වසර 70කට පසුව පාපන්දු තරගයක් ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වීම විශේෂ සිදුවීමක්. මෙම දක්ෂතා නිසාම ශ්‍රී ලංකාව FIFA පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ද තරමක ප්‍රගතියක් අත් කර ගැනීමට සමත් වුනා.

දේශීය පාපන්දු පිටියෙන් ජාත්‍යන්තරය දෙස හැරී බලන විට ගෙවුණු වසරේ වඩාත් කතාබහට ලක් වූ තරගාවලි ද්විත්වය ලෙස 2024 යුරෝ කුසලානය සහ 2024 Copa America කුසලානය හඳුන්වා දිය හැකියි. මෙහි දී ස්පාඤ්ඤය විසින් එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් යුරෝ කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ආජන්ටිනාව විසින් කොලොම්බියාව පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.  

මේ අතර 2024 UEFA Champions League final අවසන් මහා තරගයේ දී ජර්මනියේ Borussia Dortmund කණ්ඩායමට එරෙහිව ගෝල 2-1ක ජයග්‍රහණයක් හිමි කර ගත් ස්පාඤ්ඤයේ Real Madrid කණ්ඩායම තවත් වරක් තරගාවලි ශූරතාව හිමි කර ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මේ අතර වසරේ අවසන් භාගයේ දී පාපන්දු ලොව වඩාත් ඉහල පිළිගැනීමක් හිමි වන Ballon d’Or සම්මානය ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක Rodri හට හිමි වූ අතර, මෙහි දී බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබා සිටි බ්‍රසීලයේ Vinícius Júnior දෙවැනි ස්ථානයට පත් වීමත් විශේෂ අවධානයක් යොමු වූ සිදුවීමක්.  

රග්බි 

ගෙවුණු වසර දේශීය රග්බි පිටිය ද උඩු යටිකුරු කිරීමට සමත් වුනා. නොකඩවා වසර 8ක් තිස්සේ දේශීය රග්බි ලීගයේ ආධිපත්‍ය රඳවා ගෙන සිටි මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 33 -25ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වූ CR & FC කණ්ඩායම තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔවුන් මෙසේ ලීග් ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ වසර 26කට පසුව වීමත් විශේෂත්වයක්. එමෙන්ම 1991 වසරේ දී ක්ලිෆර්ඩ් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව වසර 33කට පසුව නැවතත් එම කුසලානයේ පහස විදීමට පොලිස් ක්‍රීඩා සමාජය මෙම වසරේ දී සමත් වීමත් ඉතා විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකියි. 

දැල්පන්දු 

පසුගිය ඔක්තෝබර් මාසයේ දී 13 වැනි ආසියානු දැල්පන්දු ශූරතාව ක්‍රියාත්මක වූ අතර, එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වුනේ වත්මන් ශූරියන් ලෙසයි. එමෙන්ම ඔවුන් තරගාවලිය පුරාවටම තම ගෞරවය රැක ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා ම පැමිණීමට සමත් වූ අතර, අවසන් තරගයේ දී ඔවුන්ට තරගාවලියේ අනෙක් අපරාජිත කණ්ඩායම වූ සිංගප්පූරුව මුණ ගැසුණා. මෙම තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර, තරගයේ තීරණයක් ලබා ගැනීම සඳහා අතිරේක කාලයක් දක්වා ම තරගය පැවැත්වීමට ද සිදු වුනා. කෙසේ වෙතත් අවසානයේ දී තරගයේ ජයග්‍රහණය ලකුණු 67-64ක් ලෙස හිමි කර ගැනීමට සිංගප්පූරුව සමත් වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්.
sports roundup

දේශීය මලල ක්‍රීඩාව 

2024 අප්‍රේල් මස 18 වැනි දින ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා සිය දිවියට සමු දුන්නා. ශ්‍රී ලංකාවට පළමු ආසියානු පදක්කම හිමි කර දීමට සමත් වූ එතුමා ඔලිම්පික් උළෙල දෙකක දී ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

2024 වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වුණු 21 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව විසින් පදක්කම් පහක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙහි දී කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ මදුශානි හේරත් සහ පිරිමි මීටර් 100×4 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද රිදී පදක්කම් ද්විත්වයක් ජයග්‍රහණය කරනා අතරේ, මිශ්‍ර 400×4 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමත්, කාන්තා සහ පිරිමි 400×4 ඉසව් නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් ද්විත්වයත් තවත් ලෝකඩ පදක්කම් තුනක් ජයග්‍රහණය කරමින් මෙම වසරේ දේශීය මලල ක්‍රීඩාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා. 

sports roundupමේ අතර ආසියානු සහය දිවීමේ ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මිශ්‍ර 400×4 කණ්ඩායම තම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කරනා අතරේ, පිරිමි 400×4 කණ්ඩායම විසින් ප්‍රබල ඉන්දියාව අබිබවා යමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම පිරිමි 400×4 සහය දිවීමේ කණ්ඩායමට මෙම වසරේ පැවැත්වුණු ලෝක සහය දිවීමේ ශූරතාවලියට සහභාගී වීමට නොහැකි වීම වසරේ වඩාත් අභාග්‍ය සම්පන්න සිදුවීම් අතරින් එකක් ලෙස හඳුන්වාදිය හැකි.

2024 වසරේ මැයි මාසයේ දී ජපානයේ දී ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වුණු අතර එහි දී ශ්‍රී ලංකාව පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙහි දී දිනේශ් ප්‍රියන්ත විසින් F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කලත් පසුව එල්ල වූ විරෝධතාවක් නිසා ඔහුට එම පදක්කම අහිමි වී ගියා. මේ අතර සමිත දුලාන් විසින් F64 පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කරනා අතරේ පාලිත බණ්ඩාර පිරිමි F63 යගුළිය විසිකිරීම ඉසව්වෙන් සහ නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් ද්විත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වූ රුමේෂ් තරංග විසින් මීටර් 85.45ක දුරක් හෙල්ල විසිකිරීමට සමත් වෙමින් 2024 ඔලිම්පික් පරිසාධන මට්ටම ආසන්නයට ම පැමිණියා. නමුත් ඔහුට අවාසනාවන්ත ලෙස ඔලිම්පික් වරම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ කැපී පෙනෙන නාමයක් ලෙස හඳුන්වාදිය හැකි යුපුන් අබේකෝන්ට නම් ගෙවුණු වසර සුබදායී එකක් වුනේ නැහැ. පාදයේ ආබාධයක් නිසා ඔහුට මෙම වසරේ දී බලාපොරොත්තු වූ තරම් දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වුනා.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේ දී ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ද ක්‍රියාත්මක වුනා. මෙහි දී ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි නොවූ නමුත් අයෝමල් අකලංක පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වීම විශේෂ දක්ෂතාවක් ලෙස හඳුන්වා දිය හැකි. එමෙන්ම මලිත් තමෙල් සහ ඉඳුසර විදුශාන් ද මෙහි දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වුණු දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දකුණු ආසියාවේ වේගවත් ම යෞවනයා බවට පත් වීමට මෙරෝන් විජේසිංහ විසින් සමත් වූ අතර, ඊට අමතරව මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ජයග්‍රහණය කරමින් සමස්ත පදක්කම් 35ක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ශූරතාවලි පදක්කම් සටහනේ පළමු තැන ඉන්දියාවට හිමි වන අතරේ, ඉන්දියාවට එල්ල වූ එකම අභියෝගය බවට පත් වූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවැනි තැනට පැමිණීමට සමත් වුනා.

ගෙවුණු වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ වඩාත් ඉහළ අවධානයක් යොමු වූ තරග ඉසව් ලෙස ගෘහස්ථ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය, ලෝක සහය දිවීමේ ශූරතාවලිය සහ ඔලිම්පික් උළෙල හඳුන්වාදිය හැකි. මේ අතරිනුත් මුළු මහත් ලෝකයේ ම අවධානය ඔලිම්පික් වෙත යොමු වූ බවත්, අනෙක් සියලු මලල ක්‍රීඩා ඉසව්වන් සියල්ලක් ම පාහේ ඔලිම්පික් ඉලක්ක කර ගනිමින් පැවැත්වුණු බවත් රහසක් නොවෙයි.

නිමා වූ ඔලිම්පික් උළෙලේ දී මුළු ලොවම බලා සිටි අයුරින් මලල ක්‍රීඩා ලෝක වාර්තා රැසක් ද බිහි වුනා. තම ලෝක වාර්තාව අලුත් කිරීම පුරුද්දක් වශයෙන් සිදු කරමින් සිටින ස්වීඩනයේ Mondo Duplantis විසින් නැවත වරක් පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කරනා අතරේ, කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව නියෝජනය කල ඇමරිකානු ක්‍රීඩිකා Sydney McLaughlin-Levrone විසින් ද සුපුරුදු පරිදි තම ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම පිරිමි මීටර් 100 ඉසව්වේ ජයග්‍රහණය ඇමරිකානු ක්‍රීඩක Noah Lyles විසින් ජයග්‍රහණය කරනා අතරේ, කාන්තා මීටර් 100 ඉසව්ව වෙනුවෙන් තම රටේ මංගල ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කර දීමට Saint Lucia දේශයේ Julien Alfred විසින් සමත් වුනා. එමෙන්ම මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කළ Lylesගේ ප්‍රියතම ඉසව්ව වූ මීටර් 200 ඉසව්වෙන් ඔහුව පරාජය කරමින් ලොව ඉහල අවධානයක් දිනා ගැනීමට බොස්ට්වානා දේශයේ Letsile Tebogo සමත් වීමත් විශේෂත්වයක්.

(Photo by JOEL MARKLUND/Bildbyran/Sipa USA)

ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක වූ ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 14ක් ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුනා.

මේ අතර මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් හය දෙනෙකු තරග බිමට පිවිසුණා. මේ අතරින් වඩාත් ඉහල අවධානයක් හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය ඔලිම්පික් වංශකථාවේ සොඳුරු මතකයකට මග පාගා දුන් අරුණ දර්ශන විසින් පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වුනේ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද අලුත් කරවමිනුයි. එමෙන්ම ඔහු අවසන් පූර්ව වටයේ දී ද ඉතා විශිෂ්ට ධාවනයක නිරත වූ නමුත්, පසුව එම ධාවනය අවලංගු කෙරුණා. කෙසේ වෙතත් ගෙවුණු වසරේ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ හොදම කඩ ඉමක් ලෙස අරුණගේ මෙම දක්ෂතාව සැකයකින් තොරව හඳුන්වා දිය හැකියි.

එමෙන්ම ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වුණු මෙම ඔලිම්පික් උළෙල තුළ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තම ක්‍රීඩා ඉසව්වලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා. මෙහි දී ජිම්නාස්ටික් ඉසව්වල ලොව ඉහළ පිළිගැනීමක් ලබා ඇති ඇමරිකාවේ Simone Biles, පිහිනුම් ඉසව්වල දී සත්කාරක ප්‍රංශයේ Leon Marchand, ඕස්ට්‍රේලියාවේ Ariarne Titmus මෙන්ම ඇමරිකාවේ Katie Ledecky ද විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුනා.

සමස්ත ඔලිම්පික් උළෙල නිමා වන විට චීනය සහ ඇමරිකාව රන් පදක්කම් 40 බැගින් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටි අතර, සමස්ත පදක්කම් ප්‍රමාණය අනුව ඇමරිකාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වුනා. මේ වෙනුවෙන් ද ඉතා ඉහළ සටනක් නිර්මාණය වූ අතර, ඔලිම්පික් උළෙලේ අවසන් දිනයේ අවසන් ඉසව්ව ජයග්‍රහණය කරමිනුයි ඇමරිකාව මෙසේ පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනේ.

පැරාඔලිම්පික්

මෙවර ඔලිම්පික් උළෙලට සමගාමීව පැරා ඔලිම්පික් උලෙළ ද ක්‍රියාත්මක වූ අතර, එහි දී නම් චීනය කිසිදු අභියෝගයකින් තොරවම පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා. රටවල් 85ක් පදක්කම් ජයග්‍රහණය කළ මෙම පැරා ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ 75 වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව විසින් සමත් වූ අතර, ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ දී එක් රිදී පදක්කමක් හිමි වුනා. මෙහි දී F64/F44 පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් විසින් එම ඉසව්වේ පෙර පැවති ලෝක වාර්තාව ද අලුත් කරමින් ඉසව්වෙන් රිදී පදක්කම ජයග්‍රහණ කිරීමට සමත් වුනා.

මේ අයුරින් දෙස් විදෙස් ක්‍රීඩා පිටිය 2024 වර්ෂය තුළ ක්‍රියාත්මක වුනා. එමෙන්ම 2025 වර්ෂය තුළ දී ද බොහෝ ක්‍රීඩා ඉසව් ක්‍රියාත්මක වීමට නියමිත ව තිබෙනවා. එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් ම සූදානම්.

රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<