යුපුන්ගේ සිහින බොඳ වෙයි; නදීශා ලේකම්ගේ සුපුරුදු දක්ෂතා අතරට

102nd National Athletics Championship 2024

54

102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය ඊයේ (26) සාර්ථකව නිමා වුනා. 

මෙහි දී බොහෝ බලාපොරොත්තු තබා සිටි යුපුන් අබේකෝන් හට පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගය නිමා කිරීමට නොහැකි වීම කණගාටුදායක සිදුවීමක්. 

කෙසේ වෙතත් නදීශා ලේකම්ගේ, නදීශා රාමනායක සහ අරුණ දර්ශන විසින් සිය ඉසව්වල ආධිපත්‍යය සුපුරුදු ලෙස පවත්වාගෙන යාමට සමත් වුනා. 

තරග විස්තර සැකෙවින්; 

පිරිමි මීටර් 1500 

පළමු ස්ථානය යුද හමුදාවේ V Vakson (මිනිත්තු 3.51.61) විසින් හිමි කර ගත් අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවලින් GR චතුරංග, RDBN විමලසිරි විසින් හිමි කරගත්තා. 

කාන්තා හෙල්ල විසිකිරීම 

ඉසව්වේ බොහෝ බලාපොරොත්තු තබා සිටි නදීශා ලේකම්ගේ විසින් මීටර් 55.77ක දක්ෂතාවක් සමඟ පළමු ස්ථානය හිමි කරගත් අතර, එයත් සමඟින් ඇය මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වීමට ඇයට ඇති අවස්ථාව තවත් තහවුරු කර ගැනීමට ද සමත් වීම විශේෂත්වයක්. 

කාන්තා මීටර් 100 

තත්පර 12.03ක කාලයකින් තරගය නිමා කළ T.A.මුතුකුමාරණ ඉසව්ව ජයග්‍රහණය කළ අතර, අමාෂා ද සිල්වා දෙවැනි ස්ථානයට පත් වුනා. එමෙන්ම එහි තෙවැනි ස්ථානය W.V.L.සුගන්දි විසින් හිමි කර ගත්තා. 

පිරිමි තුන් පිම්ම 

ශ්‍රී ලංකා යුද හමුදාවේ K.M.යසිරු මීටර් 15.68ක දුරක් තරණය කරමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

පිරිමි මීටර් 400 

කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන අතර මෙම ඉසව්ව සඳහා තියුණු තරගයක් නිර්මාණය වී තිබූ අතර, ඔවුන් දෙදෙනා ම ඔලිම්පික් බලාපොරොත්තු ද සිතේ තබා ගනිමින් ඉසව්ව නියෝජනය කළා. මෙහි දී තත්පර 45.51ක කාලයක් සමඟ අරුණ ඉසව්ව ජයග්‍රහණය කළ අතර, කාලිංග තත්පර 46.38ක කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පත් වුනා. එමෙන්ම දිනුක දේශාන් මෙහි තෙවැනි ස්ථානය දිනාගත්තා. 

පිරිමි යගුලිය විසිකිරීම  

ශ්‍රී ලංකා යුද හමුදාවේ R.S.ජයවර්ධන මීටර් 15.30ක දුරක් යගුලිය විසිකරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා. 

පිරිමි රිටි පැනීම 

යුද හමුදාවේ A.Puvithran මීටර් 5.00ක උසක් තරණය කරමින් ඉසව්ව ජයග්‍රහණය කළ අතර, M.H.I.සඳරුවන් දෙවැනි ස්ථානයත්, W.T.මලින්දරත්න සිල්වා තෙවැනි ස්ථානයත් දිනා ගත්තා. 

පිරිමි උස පැනීම 

මීටර් 2.13ක උසක් තරණය කළ S.A.T. දසුන් මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

කාන්තා කවපෙත්ත විසිකිරීම 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ A.G.V.V. ලක්මාලි මීටර් 42.38ක දුරක් කවපෙත්ත විසිකරමින් ඉසව්ව ජයග්‍රහණය කළා. 

කාන්තා තුන් පිම්ම  

H.M.N.මදුශානි මීටර් 13.13ක දුරක් සමඟ ඉසව්වේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

කාන්තා මීටර් 3000 බාධක දිවීම 

ශ්‍රී ලංකා යුද හමුදාවේ A.S.නිසංසලා බණ්ඩාර මිනිත්තු 11.42.97ක කාලයක් වැය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා. 

පිරිමි මීටර් 3000 බාධක දිවීම 

මිනිත්තු 9.10.28ක කාලයක් වැය කළ යුද හමුදාවේ H.M.E.U.B. හේරත් ඉසව්ව ජයග්‍රහණය කළ අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන ද යුද හමුදාවට හිමි වුනා. 

මේ අතර අද දිනයේ දී පිරිමි මීටර් 100 ඉසව්ව ද ඇතුළුව තවත් ඉසව් කිහිපයකම මූලික වටයේ තරග පැවැත්වුණු අතර, ඒවායින් පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ දී රොශාන් රණතුංග, පිරිමි මීටර් 100 ඉසව්වෙන් Y.M.C. යෝදසිංහ වැනි ක්‍රීඩකයින් කැපී පෙනීමට සමත් වුනා. 

අද (27) දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත තරග ඉසව් 

  • පිරිමි මීටර් 100  
  • පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම 
  • කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම 
  • කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම 
  • පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම 
  • කාන්තා මීටර් 200  

එම ඉසව්වල තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<