ඔලිම්පික් බලාපොරොත්තු කිහිපයක් සමඟ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වෙයි

102nd National Championship 2024

72
102nd National Championship 2024

102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය අද (25) දිනයේ දී දියගම දී ආරම්භ වුනා.

තරගාවලියේ පළමු දිනය තුළ ඉසව් කිහිපයක ම අවසන් තරග පැවැත්වුණු අතර, බොහෝ බලාපොරොත්තු තබා ඇති ධාවන ඉසව් කිහිපයකම මුලික වටයේ තරග ද අද පැවැත්වුණා.

කාන්තා මීටර් 10000 

මෙම ඉසව්වේ පළමු ස්ථානය මිනිත්තු 35.09.35කින් තරගය අවසන් කළ යුද හමුදාවේ WAMR විජේසූරිය විසින් හිමි කර ගත් අතර, එහි දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය ද යුද හමුදාවේ ම ALSD ලියනගේ සහ MGIK කුමාරි සුගතපාල හට හිමි වුනා.

පිරිමි හෙල්ල විසි කිරීම

මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුද හමුදාවේ සුමේධ රණසිංහ විසින් සමත් වුනේ මීටර් 77.68ක දුරක් හෙල්ල විසි කරමිනුයි. එමෙන්ම පසුගිය දා නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් වූ රුමේෂ් තරංග (ගුවන් හමුදාව) මීටර් 77.10ක දුරක් සමඟින් දෙවැනි ස්ථානය ජයග්‍රහණය කළා.

කාන්තා යගුලිය විසිකිරීම

මීටර් 12.95ක් සමඟින් නාවික හමුදාවේ O.T.චන්ද්‍රසේකර ඉසව්වේ පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වන අතර, ගුවන් හමුදාවේ W.T.K ප්‍රනාන්දු එහි දෙවැනි ස්ථානයත්, P.A.P කුමාරි තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා.

කාන්තා උස පැනීම

ශ්‍රී ලංකා යුද හමුදාවේ මිනෝලි ප්‍රනාන්දු (1.74m) මෙහි පළමු ස්ථානය හිමි කරගන්නා අතරේ ටිමේෂි ජයරත්න දෙවැනි ස්ථානයට සහ A.A.R.K.පෙරේරා තෙවැනි ස්ථානයට පත් වුනා.

කාන්තා මිටිය විසිකිරීම

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ H.A.A. ලක්ෂිකා මීටර් 44.66ක දුරක් සමඟ පළමු ස්ථානය හිමිකරගත්තා. එමෙන්ම A.W.A.S.M.අමරසිංහ දෙවැනි ස්ථානයත්, M.G.N.මන්දිනී තෙවැනි ස්ථානයටත් පත් වුනා.

කාන්තා දුර පැනීම

මීටර් 5.94ක දුරක් සමඟ මදුෂානි හේරත් මෙහි ප්‍රථමයා වීමට සමත් වූ අතර, H.D.R.කාවින්ද්‍යා සහ දිල්කි නෙහාරා පිළිවලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පැමිණියා.

කාන්තා මීටර් 1500

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ නිමාලි ලියනාරච්චි මිනිත්තු 4.24.11ක කාලයක් සමඟ පළමු තැනට පත් වූ අතර, M.G.P.V රණසිංහ දෙවැනි ස්ථානයත්, K.G.N.M.A. කුමාරි තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා.

පිරිමි මීටර් 10000

P.A.P.මදුරංග (ගුවන් හමුදාව) මිනිත්තු 31.16.37ක කාලයක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කරනා අතරේ, J.K.ප්‍රසාන් දෙවැනි ස්ථානයට සහ M.සිවරාජන් තෙවැනි ස්ථානයට පත් වුනා.

පිරිමි මිටිය විසිවිසිකිරීම

මීටර් 47.68ක දක්ෂතාවක් සමඟ යුද හමුදාවේ H.M.A.S.බණ්ඩාර පළමු ස්ථානයට පත් වූ අතර, H.සිසිර කුමාර සහ D.S.N.වික්‍රමසිංහ පිළිවලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වුනා.

මේ අතර අද දිනයේ පැවැත්වුණු කාන්තා මීටර් 100 මූලික වටයේ තරගවල දී අමෂා ද සිල්වා තත්පර 12.21ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, H.K.T.D සිල්වා විසින් තත්පර 12.08ක කාලයක් වාර්තා කිරීමට සමත් වුනා.

කාන්තා මීටර් 400 ඉසව්වට සහභාගී වූ නදීශා රාමනායක විසින් තත්පර 54.47ක කාලයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර පිරිමි මීටර් 400 මූලික වටයට සහභාගී වූ අරුණ දර්ශන තත්පර 45.97ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, කාලිංග කුමාරගේ තත්පර 46.33ක කාලයක් මෙන්ම පසිඳු කොඩිකාර තත්පර 46.44ක කාලයක් වාර්තා කිරීමට ද සමත් වුනා.

එම ඉසව්වලින් අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබාගත් ක්‍රීඩකයින් හෙට (26) දිනයේ දී සිය අවසන් තරග සඳහා සහභාගී වනු ඇති.

හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත ඉසව් සහ තරග වේලාවන්

  • පිරිමි මීටර් 1500- උදෑසන 7.30
  • කාන්තා හෙල්ල විසි කිරීම – උදෑසන 8.00
  • කාන්තා මීටර් 100- උදෑසන 8.00
  • පිරිමි තුන් පිම්ම – උදෑසන 8.45
  • පිරිමි මීටර් 400- උදෑසන 8.55
  • කාන්තා මීටර් 400- උදෑසන 9.00
  • පිරිමි යගුලිය විසිකිරීම – උදෑසන 9.30
  • පිරිමි රිටි පැනීම – සවස 2.30
  • පිරිමි උස පැනීම – සවස 3.00
  • කාන්තා කවපෙත්ත විසිකිරීම- සවස 3.00
  • කාන්තා තුන් පිම්ම – සවස 3.30
  • කාන්තා මීටර් 300බාධක දිවීම – සවස 5.20
  • පිරිමි මීටර් 3000බාධක දිවීම – 5.35

එමෙන්ම හෙට දිනයේ දී ශ්‍රී ලංකාවේ තවත් ඔලිම්පික් බලාපොරොත්තුවක් වන යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 මූලික වටයේ තරගයට සවස 5.10ට සහභාගී වීමට නියමිතයි.

මේ අතර පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම, පිරිමි මීටර් 800, කාන්තා මීටර් 200, කාන්තා සහ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම යන ඉසව්වල මූලික වටයේ තරග ද පැවැත්වීමට නියමිතයි.

එම ඉසව්වල තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<