ආසියානු කුසලාන සංචිතවල තවත් වෙනස්කම් දෙකක්

Asia Cup 2023

835

මෙවර ආසියානු කුසලානයට සහභාගී වන බංග්ලාදේශ සහ පාකිස්තාන කණ්ඩායම්වල ක්‍රීඩකයින් දෙදෙනෙකු තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී නොවන බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

මෙවර තරගාවලියේ දී ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය 10 සහ 11 දිනවල දී පැවැත්වුණු එක්දින තරගය අතරතුර ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන Haris Rauf සහ Naseem Shah යන දෙදෙනා ආබාධවලට ලක් වුනා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා මුහුණ දුන් ආබාධ තත්ව නිසා පෙර සුදානමක් ලෙස Zaman Khan සහ Shahnawaz Dahani සංචිතය සමඟ එක් කිරීමට ද පාකිස්තානය විසින් පියවර ගත්තා.

මේ අතර ඊයේ (13) දිනයේ දී වාර්තා වුනේ Naseem Shahගේ ආබාධය නිසා ඔහුව සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සහ ඒ වෙනුවට Zaman Khan සංචිතයට එක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් Haris Rauf තවදුරටත් සංචිතය සමඟ එක් ව සිටින බවත්, ඔහු සිය ආබාධයෙන් සුවය ලබමින් සිටින බවත් PCB විසින් වාර්තා කර තිබුණා.

2023 ලෝක කුසලානය ආරම්භ වීමට තවත් මසකටත් වඩා අඩු කාලයක් ඉතිරිව ඇති නිසා පාකිස්තානය සිය ප්‍රධානතම වේගපන්දු යවන්නන් අනවශ්‍ය අවදානමකට ලක් නොකරනු ඇති බව විශ්වාස කළ හැකියි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රවීණ පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක Mushfiqur Rahim ද හෙට (15) ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය 09 වැනිදා පැවැත්වුණු තරගයෙන් අනතුරුව සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් ඩකා වෙත පියාසර කළ Rahim මීට පෙර බලාපොරොත්තුවෙන් සිටියේ හෙට තරගයට සහභාගී වීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමටයි.

නමුත් ඔහුගේ බිරිඳ සිය දරු ප්‍රසූතියෙන් පසුව තවමත් සුවය ලබමින් සිටින නිසා ඔහු හෙට තරගය වෙනුවෙන් කණ්ඩායමට එක් නොවනු ඇති බවයි දන්වා තිබෙන්නේ.

පසුගිය 12 වැනිදා ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලද අවාසනාවන්ත පරාජය නිසා බංග්ලාදේශය විසින් මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය පිළිබඳ තැබූ සියලු බලාපොරොත්තු සුන් වී ගියා. මේ අනුව හෙට තරගය බංග්ලාදේශයට තවත් එක් එක්දින ක්‍රිකට් තරගයක් පමණක් ම වනු ඇති.

2023 ආසියානු කුසලානයේ තීරණාත්මක ම තරගයක් අද (14) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය සහ සමස්ත තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<