උණුහුම වැඩි අරාබියට වඩා වැස්ස වැඩි ලංකාව හොඳයි

Asia Cup 2023

11837

වර්ෂාවෙන් බලපෑම් ඇති විය හැකි බව දැන දැනම මෙවර ආසියානු කුසලානය සඳහා සම සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතුව පැහැදිලි කළ හැක්කේ Jay Shahට පමණක් ම බව හිටපු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Najam Sethi විසින් සඳහන් කරනවා.

2023 ආසියානු කුසලානයේ නිල සත්කාරක දේශය ලෙස පාකිස්තානය නම් කර තිබුනත්, ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම මත තරගාවලියේ සම සත්කාරක දේශය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරුණා.

ඒ අනුව මේ දිනවල පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ 2023 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන නමුත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලට නම් වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ ඉන්දු – පාකිස්තාන තරගය වර්ෂාව නිසා එක් ඉනිමකට පමණක් සීමා වූ අතර, ඊයේ (04) නේපාලය සහ ඉන්දියාව අතර පැවැත්වුණු තරගයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුනා.

මේ නිසා ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙනස් කිරීම පිළිබඳව ද මේ වන විට යම් ආරංචි පැතිර යමින් පවතිනවා. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට වර්ෂාව ඇද වැටීමට වැඩි ඉඩක් පවතින බව තමන් කලින් ම ACC වෙත දැනුම් දුන් බව හිටපු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Najam Sethi විසින් සඳහන් කරනවා.

“ජාත්‍යන්තර ක්‍රිකට් සම්පූර්ණයෙන්ම පාකිස්තානයට පැමිණ ඇති බැවින් සියලු ම තරග පාකිස්තානයේ පැවැත්වීමට ACC නියෝජිතයන් සහ Jay Shah සමඟ පැවැත්වුණු රැස්වීම්වල දී මම තුන් වතාවක් අනුමැතිය ඉල්ලා සිටියා.

එය ප්‍රතික්ෂේප වුනු පසු මම තරග පහක් පාකිස්තානයේ සහ තරග අටක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන්න යෝජනා කළා. ඔවුන් ඒකත් ප්‍රතික්ෂේප කරමින් අපි නොසැලී සිටියොත් (ස්ථාවරය වෙන නොකළොත්) ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දෙනවා කියලා ඉඟි කළා.

අවසානයේ, පසුව අපි කිව්වා අපි සහභාගී වෙන එකක් නැහැ කියලා. ඒ නිසා ඔවුන් තරග හතරක් පාකිස්තානයටත් ඉතිරිය ශ්‍රී ලංකාවටත් බෙදලා වෙන් කළා.

ලංකාවේ කාලගුණ අනාවැකි අනුව තරග ප්‍රතිඵලවලට වගේම ක්‍රීඩාංගණවල සෙනග අඩු වෙන්නත් මෙය හේතුවක් වේවි කියලා අපි නොකඩවා පෙන්නුම් කරලා දුන්නා.

ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකාවෙන් ලැබෙන ආදායමට වඩා බොහෝ ගුණයකින් වැඩි වේවි කියලත් අපි තර්ක කළා.”

Sethi විසින් සිය Twitter (X) ගිණුම හරහා දීර්ඝ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.

නමුත් තම සියලු තර්ක කිරීම් Jay Shah හමුවේ බිඳ වැටුණු බවයි Sethi සඳහන් කරන්නේ. මෙහි දී ඔවුන් (ACC) තරගාවලිය එක්සත් අරාබි එමීර් දේශයට රැගෙන නොයා සිටීමට එක් හේතුවක් ලෙස සඳහන් කර තිබුණේ මෙම කාලය තුළ එහි පවතින අධික උණුසුමයි.

නමුත් මීට පෙර වසරවල මෙම කාලය තුළ IPL තරගාවලි මෙන්ම ආසියානු කුසලානයක් පවා පවත්වා තිබුණා. කෙසේ වෙතත් මෙවර එවැනි තීරණයක් ගැනීමට වත්මන් ACC සභාපති සහ BCCI ලේකම් ධුරය හොබවන Jay Shah විසින් පෙලඹී තිබුණේ නැහැ.

“Shah මහතා එයට එකඟ නොවූ විට එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන් මුම්බායි වෙත පියාසර කරමින් අතීතයේ IPL තරගාවලි දෙකක් සහ ආසියානු කුසලාන තරගාවලියක් මෙම කාලගුණ තත්ව (උණුසුම්) යටතේ ම පැවැත්වුණු බව පවසමින් මෙවර ආසියානු කුසලානය ද එක්සත් අරාබි එමීර් හිදි පැවැත්වීමට BCCI පොලඹවා ගැනීමට උත්සාහ කළා. නමුත් BCCI විසින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මෙම විකල්ප ප්‍රතික්ෂේප කළේ ඇයි ද සහ සියලු තර්ක සහ හේතුවලට එරෙහිව ශ්‍රී ලංකාව තෝරා ගත්තේ ඇයි ද යන්න පැහැදිලි කළ හැක්කේ Shahට පමණයි. ඒ වගේම අපි දැක ඇති පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ තෝරා ගත් ආකාරයත් ගැටලු සහගතයි.”

Sethi විසින් සිය දීර්ඝ Twitter සටහන නිමා කළේ ආසියානු කුසලාන තරග පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ තෝරා ගත් ආකාරයත් ප්‍රශ්න කරමිනුයි.

2023 ආසියානු කුසලානයේ මූලික වටයේ අවසන් තරගය අද (05) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරගය පාකිස්තානයේ ලාහොර් හිදි දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙනු ඇති.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Indian Express ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<