දෝනිට කොරෝනා නැහැ

276

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක හා වත්මන් චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. 

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණු සැසිය සඳහා මහේන්ද්‍ර සිං දෝනි නොකැඳවීමට ද තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් Times of India පුවත්පත වාර්තා කර සිටියේ මහේන්ද්‍ර සිං දෝනිගේ PCR පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සතියක පුහුණු සැසිය සඳහා දෝනි චෙන්නායි වෙත පැමිණීමට නියමිත බව ද එම පුවත්පත විසින් වාර්තා කර තිබේ.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතය.

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සඳහා නිකුත් කළ සුවිශේෂී නීති රාමුවට අනුව ක්‍රීඩකයන් පුහුණු සැසි සඳහා සහභාගී වීමට පෙර කොරෝනා වයිරසය සඳහා සිදු කරන PCR පරීක්ෂණය සඳහා දෙවතාවක් සහභාගී විය යුතුය.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනි ද දෙවතාවක් එම පරීක්ෂණ සඳහා පෙනී සිට ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵලය අනුව චෙන්නායි නායකයාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

නමුත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වන දිශාන්ත් යාග්නික් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු විය.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඇතිවූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය දෙවතාවක්ම කල්දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

කෙසේ වෙතත් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු වීමත් සමඟින් එම කාලය තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ 3ක දී දින 54 ක් පුරා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව තුල මේ වන විට කොරෝනා වයිරසය පාලනය කළ නොහැකි මට්ටමට ළඟා වී ඇති අතර දිනකට හමුවන ආසාදිතයින් සංඛ්‍යාව 50,000කට ආසන්න වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<